කොවිඩ් වසංගතය පැවැති කාලයේදී නිරෝධායන ඇඳිරි නීතිය පවතින අවස්ථාවක 17 හැවිරිදි මානසික ආබාධිත ළමයකුට අමානුෂික අන්දමින් පහරදීමේ සිද්ධියකට සම්බන්ධ බව කියන අලුත්ගම පොලිසියේ නිලධාරීන් තිදෙනකුට අධිකරණය හමුවේ ඉදිරිපත්වී එම සිද්ධිය සම්බන්ධයෙන් නිදහසට කරුණු ඉදිරිපත් කරන ලෙසට නියෝග කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (13) නොතීසි නිකුත් කළේය.
අලුත්ගම, දර්ගා නගරයේදී පහරකෑමට ලක් වූ බව කියන එම ළමයා සහ ඔහුගේ පියා වන මොහොමඩ් මවුසික් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගය සඳහා කැඳවූ අවස්ථාවේ මෙලෙස නොතීසි දන්වා යැවීමට නියම කෙරිණි.
ප්‍රීති පද්මන් සූරසේන, එස්. තුරෙයිරාජා සහ ප්‍රියන්ත පුනාන්දු මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ මේ පෙත්සම් කැඳවනු ලැබිණි.
එහිදී පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින අලුත්ගම පොලිසියට අනුයුක්තව සිටි උප පොලිස් පරීක්ෂක රොහාන් දර්ශන, පොලිස් සැරයන්වරුන් වන ඩිලාන් ගුණතිලක සහ එන්.එච්. සේනාරත්න යන අය වෙනුවෙන් නීතිඥවරයකු පෙනී සිටියේ නැත.
ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කළ අධිකරණය, පෙත්සම සම්බන්ධ කර නොතීසි නැවත ඔවුන්ට දන්වා යැවීමට තීරණය කළේය. පෙත්සම විභාගය ජනවාරි මස 16 වැනි දින සිදු කිරීමට නියම කෙරිණි.
අලුත්ගම ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් මවුසික් මහතා සහ ඔහුගේ මානසික ආබාධයකින් පෙළෙන පුත්‍රයා වන අහමඩ් වසීර් නමැත්තන් මේ පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.
මේ පහරදීමේ සිද්ධිය සිදු වන අවස්ථාවේදී අලුත්ගම පොලිසියේ සේවය කළ පොලිස් ස්ථානාධිපතිවරයා, එම පොලිසියට අනුයුක්තව සිටි උප පොලිස් පරීක්ෂක රොහාන් දර්ශන, පොලිස් සැරයන්වරුන් වන ඩිලාන් ගුණතිලක සහ එන්. එච්. සේනාරත්න, පොලිස්පතිවරයා, නීතිපතිවරයා ඇතුළු පිරිසක් මෙහි වගඋත්තරකරුවෝ ලෙස නම් කර සිටිති.
කොරෝනා නිරෝධායන ඇඳිරි නීතිය පැවැති 2022 මැයි මස 25 වැනි දින 17 හැවිරිදිව සිටි දෙවැනි පෙත්සම්කරු සිය පියා සමඟ බයිසිකලයකින් අලුත්ගම දර්ගා නගරයේ පොලිස් මුරපොළ ආසන්නයේ ගමන් කරමින් සිටියදී නවතින ලෙස කළ අණ නොතකා ගමන් කරන ලදැයි චෝදනා කරමින් එහි සිටි පොලිස් නිලධාරීන් ඔහුට පහර දුන් බව ද පෙත්සමේ සඳහන් වේ.
මේ සිද්ධියට පාදක වූ ළමයා මන්දමානසික රෝගියකු බව දැනුම්දීමෙන් අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරිවරයා හමුවේ විමර්ශනයක් ද පවත්වා තිබෙන බව සඳහන් වේ.
මේ අමානුෂික පහරදීමේ සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරීන්ට එරෙහිව විනය පියවර ගැනීමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මේ පෙත්සම් ගොනු කර තිබුණි.
පෙත්සම සම්බන්ධයෙන් මූලික කරුණු සලකා බැලීමෙන් අනතුරුව පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය මීට පෙර අවසර දුන්නේය. පෙත්සම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් මහතා පෙනී සිටියේය. එවකට සිටි අලුත්ගම පොලිස් ස්ථානාධිපතිවරයා වෙනුවෙන් ජනාධිපති නීතිඥ උපුල් කුමාරප්පෙරුම මහතා පෙනී සිටියේය. නීතිපති වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ඉඳුනි පුංචිහේවා මහත්මිය පෙනී සිටියාය.