තලංගම තලාහේන උද්‍යාන මාවතේ නිවෙසකදී තාරුකා නදී කුමාරසිංහ නමැති 31 හැවිරිදි එක්දරු මවක ඝාතනය සම්බන්ධයෙන් තලංගම පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවන් දෙදෙනා ඊයේ (13) යළි අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු, ලබන 26 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් චාණිමා විජේබණ්ඩාර මහත්මිය නියෝග කළාය.
එලෙස රක්ෂිත බන්ධනාගාරගත කරන ලද්දේ ඝාතනයට ලක් වූ කාන්තාවගේ සැමියා වන කෝසල මධුසංක බණ්ඩාර නමැති 31 හැවිරිදි බස් රථ ව්‍යාපාරිකයකුව සිටි අයෙක් සහ ඔහුගේ මිතුරකු බව කියන ඕමන්තගේ ජනක සම්පත් පෙරේරා නමැති 45 හැවිරිදි බස් රථ සේවකයෙකි.
පොලිසිය විසින් මේ අපරාධය පිළිබඳ කළ විමර්ශනයේදී ප්‍රධාන සැකකරු වන ඝාතනයට ලක් වූ කාන්තාවගේ සැමියා තලංගම පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් හමුවේ පාපොච්චාරණය කර ඇත්තේ මෙලෙසිනි:
“මම පුදුම විදියට අයිස් මත්ද්‍රව්‍ය බොන්න පුරුදු වෙලා හිටියේ. මා සතුව තිබුණ හුඟක් දේපළ විකුණලා වියදම් වුණේ මට මත්ද්‍රව්‍ය මිල දී ගන්නයි. එදත් මම තාරුකාගෙන් සල්ලි ඉල්ලුවත් ලැබුණේ නෑ. අපි දෙන්නා ඒකට බහින්බස් වුණා. ඒ වෙලාවේ මගෙ යාළුවකු වන ජානකත් එතනට ආවා. තාරුකා එයාටත් බැණ වැදුණා. ඒ වෙලාවේ ඒ දෙන්නම බැණගත්තා. මම දරුවත් අතට අරගෙන ගෙයින් එළියට ආවා. පස්සේ ගේ ඇතුළෙන් පොරබදන සද්දයක් එක්ක තාරුකා කෑගහන හඬක් ඇහුණා. ඊට පස්සේ කිසිම සද්දයක් ආවේ නෑ. මගෙ යාළුවා ජානක බයවෙලා දුවගෙන මා ළඟට ඇවිත් කිවුවා රණ්ඩු වෙද්දි ‘තාරුකා මන්නයක් අරං ආවා… පොරබදන කොට පාරවල් කිහිපයක් එයාට වැදුණා… ලේ ගලනවා…’ කියල. මම පුදුම විදියට බය වුණා. පස්සෙ අපි ආයෙත් ගේ ඇතුළට ගිහින් එයාව මරලා දැම්මා.
“බය වෙච්ච පාර මම ගේ ඇතුළවත් බලන්නෙ නැතිව දොර වහලා දරුවත් අරගෙන අනුරාධපුරයේ අම්මලගෙ ගෙදරට ගිහින් දරුවව අම්මට බාර දුන්නා. පස්සේ අපි දෙන්නම හිඟුරක්ගොඩ ගියා. ඒ ගිහින් දවස් 4-5කට පස්සෙ ඇවිත් ගෙදර දොර ඇරො බලද්දී තාරුකා ගේ ඇතුළෙ බිම වැටිලා හිටියා. ශරීරයෙන් දැඩි දුගඳක් ආවා. අපි දෙන්න කතා වෙලා තලංගම පොලිසියට ගිහින් මගේ බිරිඳ අබිරහස් ලෙස මිය ගිහින් කියල පැමිණිලි කළා.”
සැකකරුවන් දෙදෙනා තලංගම පොලිසියට පැමිණ මරණය සම්බන්ධයෙන් එලෙස පැමිණිලි කළද දෙදෙනා කරන ප්‍රකාශ පරස්පර වූ බැවින් ඒ පිළිබඳ දැඩි ලෙස ප්‍රශ්න කිරීමේදී මේ ඝාතනය තමන් විසින්ම සිදු කළ බවට පැමිණිලිකරුවන් පොලිසිය හමුවේ පිළිගෙන තිබිණි.
ඒ අනුව වහා ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් සැකකරුවන් දෙදෙනා වහා අත්අඩංගුවට ගෙන අදාළ නිවෙස වෙත ගොස් සොයා බැලීමේදී දැඩි දුර්ගන්ධයක් වහන වෙමින් තිබී ඇත. නිවෙසේ දොර විවෘත කර බැලීමේදී නිරුවත් කාන්තා මළ සිරුරක් දක්නට ලැබී ඇති අතර, ඒ ශරීරය ඉදිමී දුගඳ වහනය වෙමින් පැවති ආකාරය අනුව එය දින කිහිපයකට පෙර සිදු වූ ඝාතනයක් බවට නිගමනය විය.
ඒ අනුව සිද්ධිය වූ ස්ථානයට පැමිණි නුගේගොඩ පොලිස් කොට්ඨාසයේ අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් මූලික පරීක්ෂණ කටයුතු සිදු කළ අතර, කඩුවෙල වැඩ බලන මහේස්ත්‍රාත් ඩී.ජී.පී. කරුණාරත්න මහතා විසින් මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කර දැඩි ලෙස නරක් වී තිබූ දේහය කොළඹ පොලිස් මෘත ශරීරාගාරයේ තැන්පත් කර පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වන ලෙස නියෝග කරනු ලැබීය. අනතුරුව අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවන් දෙදෙනා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර, දින දෙකක රැදවුම් නියෝග ගෙන වැඩි දුරටත් ප්‍රශ්න කිරීමේදී වැඩි දුර තොරතුරු අනාවරණය විය.
ඝාතනයට ලක් වූ කාන්තාවගේ සැමියා මෙරට ප්‍රධාන පෙළේ මඟී බස් රථ ගණනාවක හිමිකරුවකුගේ පුතෙකි. පියාගේ අඩි පාරේ යමින් ඔහුද බස් රථ ව්‍යාපාරිකයකු ලෙස කටයුතු කරමින් සිටියදී අයිස් මත්ද්‍රව්‍ය පානයට හුරු වී තිබේ. ඒ අතරතුර අයිස් මත්ද්‍රව්‍යයට ඇබ්බැහිව සිටි සේවකයකු වන ජානක සමඟ සේවකයකුට එහා ගිය මිත්‍රත්වයක් හටගෙන ඇත. සැකකරුවන් දෙදෙනාම දැඩි ලෙස අයිස් මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි වීමත් සමඟ දිනෙන් දින අධික වියදම් දැරීමට වීම නිසා කෝසල තමා සතුව තිබූ යාන වාහන පවා විකුණමින් මත්ද්‍රව්‍ය පානය කර ඇති බැවින් ඝාතනයට ලක් වූ තාරුකා සමඟ නිරන්තරයෙන් අඬදබර පැවති බව සැකකරු කළ පාපොච්චාරණයේදී අනාවරණය වී ඇත.
තමන් සතුව තිබූ දේපළ දිනෙන් දින අහිමි වීමත් මත්ද්‍රව්‍ය මිල දී ගැනීමට හිතමිතුරන්ගෙන් ණයට මුදල් ගැනීමත් ඇතුළු කාරණා රාශියක් හේතුවෙන් මීට මාස දෙකකට පමණ පෙර කෝසල සහ තාරුකා සිය තුන් හැවිරිදි දියණියද සමඟ මාලබේ තලාහේන උද්‍යාන මාවතේ කුලී නිවෙසක පදිංචියට පැමිණ තිබිණි. එලෙස ඒ නිවෙසට එන විට කෝසල සතුව තිබූ විශාල මුදලක් තාරුකා තම භාරයට ගෙන තිබුණේ කෝසලගේ නාස්තිකාර හැසිරීම හොඳින් දන්නා බැවිනි. කෝසලගේ මුදලින් මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි වී සිටි ජනකද මේ බැව් හොඳින් දැන සිට ඇත. අඹු සැමියන්ගේ ප්‍රශ්න අතරට අතරමැදියකු ලෙස සම්බන්ධ වීමට හැකි තරම් ජානක මේ පවුල හා සම්බන්ධව සිට ඇති බව සිදු කළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ බව පරීක්ෂණ මෙහෙයවූ උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. කෙසේ වුවද සිද්ධිය වූ දිනයේද ඝාතනයට ලක් වූ තාරුකාගෙන් ජානක මත්ද්‍රව්‍ය පානයට මුදල් ඉල්ලා ඇති බවත්, එහිදී එලෙස මුදල් දීම ඇය ප්‍රතික්ෂේප කිරීමත් හේතුවෙන් බහින්බස්වීම වෙනදාටත් වැඩියෙන් සිදුව ඇත. එහිදී එම අවස්ථාවේදී පැමිණි ජානකද අදාළ ගැටුමට මැදිහත් වීමත් සමඟ ඇවිළුණු ගැටුමේදී මේ ඝාතනය සිදුව ඇතැයිද ඒ පොලිස් නිලධාරීයා වැඩි දුරටත් පැවසීය. ඝාතනයෙන් දින ගණනාවකට පසු පොලිසිය අදාළ නවෙසට ගිය අවස්ථාවේ දින ගණනාවක් නිරාහාරව ගසක බැඳ සිටි නිවෙසේ සුරතලයට ඇති කළ සුනඛයකු ද හමු වී ඇත. සිදු කළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී ඝාතනයට ලක් වූ කාන්තාව ලිංගික හිංසාවකට ලක්ව නැති බවට වෛද්‍ය වාර්තාවක් ලැබී ඇතැයිද තලංගම පොලිසියේ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.

කඩුවෙල වැඩ බලන මහේස්ත්‍රාත්වරයා මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කළ ආකාරය