Home » සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රතිලාභ කඩිනමින් ජනතාවට

සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රතිලාභ කඩිනමින් ජනතාවට

ජාතික මෙහෙයුම් මැදිරි කමිටුවෙන් තීරණ රැසක්

by mahesh
June 14, 2024 1:00 am 0 comment

සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රතිලාභ කඩිනමින් ජනතාවට අත්කරදීම වෙනුවෙන් අගමැති ලේකම් අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා අරලියගහ මන්දිරයේදී රැස් වූ ජාතික මෙහෙයුම් මැදිරි කමිටුව තීරණ රැසක් ගනු ලැබීය.ආසියානු සංවර්ධන බැංකුවේ ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක යටිතල පහසුකම්,පොදු පහසුකම් ව්‍යාපෘති සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.ශීඝ්‍රයෙන් ඉහළ යන මෙරට විදුලි බල අවශ්‍යතාවට විසඳුමක් ලෙස ආරම්භ වූ මොරගොල්ල ජලවිදුලි බලාගාරයේ ඉදිකිරීම් ප්‍රමාදය කෙරෙහි ද මෙහිදී සාකච්ඡා කළේය.මොරගොල්ල ව්‍යාපෘතිය ජූලි මාසය වන විට අවසන් කිරීමට සැළසුම් කර තිබුණ ද, ව්‍යාපෘතියෙන් අත් කරගෙන ඇත්තේ 75%ක භෞතික ප්‍රගතියක් පමණක් බව එහිදී අනාවරණය විය.ව්‍යාපෘති කාලය දීර්ඝ කර, අතිරේක අමෙරිකානු ඩොලර් මිලියන 2.6ක් මුදලක් ව්‍යාපෘතිය අවසන් කිරීමට ඉල්ලා තිබිණි.

කිලෝමීටර් 300ක් දිගැති, කිලෝ වොට් 33ක කුලුනු සහිත මාර්ග සහ හුවමාරු ස්ථාන 13ක් ඉදිකිරීමට අවශ්‍ය බව ද විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් පෙන්වා දුන්නේය.2025 මාර්තු මාසය දක්වා ව්‍යාපෘති කාලය දිගු කිරීම ආසියානු සංවර්ධන බැංකුවේ එකඟතාව හිමිව ඇති හෙයින් 2024 දෙසැම්බර් මාසයට පෙර ඉදිකිරීම් අවසන් කළ යුතුව ඇත.දෙසැම්බර් සිට මාර්තු දක්වා කාලය ව්‍යාපෘතියේ ක්‍රියාත්මකභාවය පරීක්ෂා කෙරෙනු ඇති බවත් නිලධාරීහු සඳහන් කරති.

අධ්‍යාපන අමාත්‍යාංශයේ විද්‍යා හා තාක්ෂණ මානව සම්පත් සංවර්ධන ව්‍යාපෘතිය (ADB) සහ ද්විතීයික අධ්‍යාපන අංශය වැඩිදියුණු කිරීමේ වැඩසටහන සම්බන්ධයෙන් අදාළ පාර්ශ්වවලින් බොහෝ දුෂ්කරතා සහ ඉල්ලීම් ඉදිරිපත් වූ අතර සැළසුම් කරන ලද වැඩසටහන්වල ප්‍රතිසංස්කරණ බොහොමයක් දැනටමත් සිදු කරමින් පවතින හෙයින් හැකි ඉක්මනින් අවසන් කරන ලෙස අදාළ පාර්ශ්වයන්ට උපදෙස් දුන්නේය.

සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රතිලාභ ජනතාවටයි.යෝජිත කාලරාමුවට අනුව ව්‍යාපෘති අවසන් කිරීම බලධාරීන්ගේ වගකීමක්. එබැවින් සියලු සංවර්ධන ව්‍යාපෘති කඩිනමින් ජනතා අයිතියට පත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අගමැතිවරයා උපදෙස් දී ඇතැයි අනුර දිසානායක මහතා මෙහිදී අවධාරණය කළේය. අවශ්‍ය දීර්ඝ කිරීම් සමඟ ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව හා විදුලි බල අමාත්‍යංශය අතර එකඟතාවන් ඇතිකර ගත් අතර එම කාලයේ අදාළ සංවර්ධන ව්‍යාපෘති අවසන් කිරීම සියලු දෙනාගේ වගකීමක් බව ද අනුර දිසානායක මහතා සඳහන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT