Home » දරුවන්ට නොසලකන්නේ හැඟීම් විරහිත සමාජයක මිනිස්සු

දරුවන්ට නොසලකන්නේ හැඟීම් විරහිත සමාජයක මිනිස්සු

කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ඉරෝමී ආරියරත්න

by mahesh
June 14, 2024 1:01 am 0 comment

උදිත ගුණවර්ධන

වැලිකන්ද ප්‍රදේශයේ කුඩා දරුවකුට සිදුවූ හිංසාකාරි සිදුවීමත් සමඟ ළමා හිංසනය පිළිබඳව නැවත සමාජ කතාබහක් ඇතිව තිබේ. මේ සමාජයට නිරාවරණය වූ එක් සිදුවීමක් පමණි. මෙසේ සමාජයට නිරාවරණය නොවී සිදුවන දේ කොමපණ තිබේද, එවැනි තත්ත්වයක් ඇතිවීමට හේතුවන සමාජ සහ මනෝ විද්‍යාත්මක කරුණු මොනවාද යන්න ගැන කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ඉරෝමී ආරියරත්න මහත්මිය සමඟ සිදුකළ සාකච්ඡාවකි මේ.

– සෑම ළමයකුටම තිබෙන්නේ සමාන අයිතිවාසිකමක්
– ළමා ආරක්ෂණ අධිකාරියට තිබෙන පහසුකම් මදි
– නීති පැනවීමෙන් පමණක් කුරිරු මිනිසුන් පාලනය කරන්න බැහැ

ළමුන් කෙරෙහි තිබිය යුතු සුරක්ෂිතභාවය අද වන විට බොහෝ සෙයින් ගිලිහී ගොස් තිබෙනවා. ඒ ගැන ඔබේ අදහස කුමක්ද?

වර්තමානයේ පිළිගන්නා අන්දමට ළමයා ලෙස සැලකෙන්නේ අවුරුදු 18ට අඩු දරුවන්. මේ අයගෙ කායික හා මානසික යහ පැවැත්ම පිණිස කටයුතු කිරීම ඔවුන්ගේ සුරක්ෂිතභාවය තහවුරු කිරීම ලෙසයි මම දකින්නේ. වර්තමාන සමාජයේ සදාචාරාත්මක පිරීහීමත්, වේගවත් තාක්ෂණික දියුණුවත්, දරුවන් සම්බන්ධයෙන් වැඩිහිටියන් තුළ පවතින අනවබෝධය සහ නොසැලකිල්ලත් හේතුවෙන් ළමයින්ගේ සුරක්ෂාව අභියෝගයට ලක්වෙලා තියෙනවා. මේ තත්ත්වය සැලකිල්ලට බඳුන් කළ යුතු සහ වහා පිළියම් යෙදිය යුතු තත්ත්වයක්.

දරුවන් වෙනුවෙන් ඉටු විය යුතු සමාජ වගකීම නිසි ලෙස ඉටු වෙනවාද?

කිසිසේත්ම නැහැ. අපේ සමාජයේ දාරක වගකීම වශයෙන් සලකන්නේ මවුපියන් සතු වගකීම. නමුත් අප සතු වගකීම තමාගේ ලෙයින් උපන්, කුසින් වැදූ දරුවන් පමණක් ආරක්ෂා කොට ඔවුන් නිසි පරිදි සමාජගත කිරීම පමණක් නොවේ. මුළු මහත් සමාජයේම දරුවන්ගේ යහපත හා ආරක්ෂාව සැලසීම වෙනුවෙන් කටයුතු කිරීම සහ පෙනී සිටීම තමයි අපගේ වගකීම වන්නේ. එම සමාජ වගකීම බොහෝ වැඩිහිටියන් පැහැර හැර ඇති නිසා තමයි මේ තරම් ළමා අපයෝජනයන්ට දිනපතා දරු පැටවුන් ලක්වන්නේ.

වර්තමාන දරුවන්ගේ යහපැවැත්ම යනු අනාගත ජන සමාජයේ යහපත්භාවය තීරණය කරන පොදු සාධකයක් බව අප වටහා ගත යුතුයි. දරුවන් නොසලකා හැරීම යනු රටේ අනාගතය සම්බන්ධයෙන් වැඩිහිටි ප්‍රජාවෙහි පවතින හැඟීම් විරහිතභාවය ලෙසයි මම අර්ථකථනය කරන්නේ.

දරුවන් සම්බන්ධ සමාජ වගකීම වන්නේ නිවැරැදි පෞරුෂයකින් යුතු මිනිසෙකු නිර්මාණය කිරීම සඳහා අවැසි කටයුතු සම්පාදනයයි. ඔවුන්ට පෝෂණය, වාසස්ථාන, ඇඳුම් පැලඳුම්, ඖෂධ ආදිය ලබාදීමෙන් නිසි කායික සංවර්ධනයට පහසුකම් සලසා දීමත්, මානසික සංවර්ධනය පිණිස අවැසි ආදරය, කරුණාව, රැකවරණය ආදී අවශ්‍යතා සම්පාදනය කිරීම වගේ ම, ඔවුන්ගේ ඉදිරි ජීවිතය යහපත්ව ගෙනයාම පිණිස අධ්‍යාපනය සහ සාරධර්මවලින් ඔවුන්ව පොහොසත් කිරීමත් වැඩිහිටියන්ගේ සමාජ වගකීමයි.

රජය තම වගකීම් ළමා සුරක්ෂිතභාවය වෙනුවෙන් ප්‍රමාණවත් ලෙස ඉටු කරන බව ඔබ විශ්වාස කරනවාද?

කුමන වයසක, කුමන තරාතිරමක වුවද, කුමන භාෂාවක් කතා කළ ද, කුමන ආගමකට අයත් වුවද, කුමන ආබාධයකින් යුක්ත වුවද සෑම ළමයෙකුට ම සමාන අයිතිවාසිකම් හිමිකරදීම රජය සතු වගකීමයි. නමුත් අපේ රටේ දරුවන්ගේ ආරක්ෂණය වෙනුවෙන් රජයේ මැදිහත්කරණය ප්‍රමාණවත් නෑ. රටේ දරුවන්ගේ සුරක්ෂිතභාවය සහ සුභසාධනය වෙනුවෙන් අරමුදල් සහ මානව සම්පත යෙදවීම යන මූලික කාරණා දෙක ම සපුරාලීම රජයේ වගකීමක්. ලංකාවේ සමෘද්ධිලාභීන් සඳහා දක්වන තරමේ සැලකිල්ලක් දාරක සුරක්ෂිතකරණය වෙනුවෙන් නොදක්වන බවයි මගේ අදහස. ලංකාවේ හැම ගමක්ම ආවරණය වන පරිදි සමෘද්ධි නියාමකවරුන් යොදවා තිබෙනවා. නමුත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකට එක් අයෙකු බැගින් ළමා ආරක්ෂක නිලධාරියෙක් පත් කිරීමට රජයට උනන්දුවක් නෑ.

අනෙක් අතට ඉතා අත්‍යවශ්‍ය නොවන කාරණයන්ට පවා රාජ්‍ය අරමුදල් වෙන්කරද්දි දරු පැටවුන්ගේ ආරක්ෂණයට සියයට එකක තරම්වත් ප්‍රතිශතයක් වෙන්කරන්නට රජය අසමත්. අපේ රටේ ආර්ථිකය තුළ තිබෙන අසමතුලිතතාව නිසා වැඩියෙන් ම පීඩාවට පත්වෙන්නෙ දරුවන්. බලවත් ආර්ථික ගැටලු නිසා මැදපෙරදිග සේවයට යන කාන්තාවන්ගේ දරුවන්ට අත්‍යවශ්‍යම වයසේදී මවගේ රැකවරණය අහිමි වෙනවා. පියා හෝ භාරකාරයන් අතින් දරුවන් විවිධ වදහිංසාවන්ට ලක්වෙනවා. ඔවුන්ගේ අධ්‍යාපනය සහ වෙනත් සියලුම ක්ෂේත්‍රයන්හි බිඳවැටීම් ඇති වෙනවා. දරුවා ජීවිත කාලයටම පීඩා විඳින මානසික ගැටලුවලට නතු වෙනවා. මත්ද්‍රව්‍ය, දුම්වැටි ආදියට ඇබ්බැහි වෙනවා. අධ්‍යාපනය සහ සෙනෙහස ලැබිය යුතු වයසේදී ගෙදරදොර කුදුමහත් කටයුතු සිදුකරන්නට වෙනවා. ලිංගික අඩන්තේට්ටම්වලට ලක්වෙනවා. මේවා රටේ සියලු පුරවැසියන්ට පහසුකම් සහිත යහපත් ආර්ථිකයක් උදාකිරීමට හැකි රාජ්‍ය යන්ත්‍රණයක් නොමැති වීමෙන් ඇතිවන ගැටලුයි.

දිනකට වේල් දෙකක් හෝ කුස පිරෙන අහරක් නැතිව අපේ රටේ දරුවෝ කොයිතරම් දුක් විඳිනවාද? කුසට අහරක් නැති නිසා දරුවන්ද සමඟ සියදිවි නසාගත් මවුවරු පියවරු ගැන ප්‍රවෘත්ති අසන්නට තරම් අපි අවාසනාවන්ත ජාතියක් බවට පත්වෙලා තිබෙන්නේ.

නීති රාමු ඇති කළ පමණින් මෙවැනි ප්‍රශ්න සඳහා පූර්ණ විසඳුමක් ලබා ගැනීමට පුළුවන් ද?

නීති රාමු කෙතරම් තිබුණත් ක්‍රියාත්මකවීමේදී ඇතිවන ගැටලු පවතින්නේ නම් එම නීතිවලින් අපේක්ෂිත අරමුණු ඉටුවන්නේ නැහැ. අද ලංකාවේ තිබෙන්නේ එවැනි තත්ත්වයක්. මූලිකම කාරණය වන්නේ තමන් අපයෝජනයට ලක්වන බව අවබෝධ කරගැනීමට අවශ්‍ය තරමේ දැනුමක් අපේ රටේ බොහෝ දරුවන්ට නැහැ. ඇතැම් මවුපියන්ටත් නැහැ. අපයෝජනයට ලක්වූ වින්දිත දරුවන්ගේ තොරතුරු වාර්තාවන්නේ ඉතා අඩු සංඛ්‍යාවක්. ලජ්ජාව, සමාජ අපවාදයට ඇති බිය, වෙනත් විවිධ බලපෑම් හේතුවෙන් අසාධාරණයට ලක්වූ දරුවන්ගේ ගැටලු නීතියට යොමුවන්නේ ඉතා අඩු ප්‍රතිශතයක් පමණයි. අනෙක් අතට සදාචාරයෙන් තොර මාධ්‍ය වාර්තාකරණය තුළින් දරුවාගේ අනන්‍යතාව හෙළිවීමත් සුදුසු තත්ත්වයක් නොවෙයි.

ඒ වගේම වින්දිත දරුවන්ගේ නීතිමය ගැටලු විසඳීම සඳහා ගතවන කාලය ඉතා දීර්ඝ වීමත් සැලකිය යුතු කාරණයක්. බොහෝ සිද්ධීන්වල තීරණ ලබාදීමේදී වසර දහයකටත් වඩා කාලයක් ගතවෙනවා. ඒ වන විට දරුවා වැඩිහිටි වියට පා තබා අවසන් වෙන්නත් පුළුවන්. වසර ගණනාවක් නීතිමය විසඳුමක් ලැබෙනතුරු එම ගැටලුවෙන් දරුවා තව තවත් වින්දිතභාවයට පත්වෙනවා. නැතිනම් නීතිමය විසඳුම අතහැර දමන තැනට පත්වෙන්නත් පුළුවන්.

අනෙක් අතට, දරුවන් අපයෝජනයට පත්කරන පුද්ගලයන් නැවත එම වරදට යොමුකිරීම වළකාලීමට දණ්ඩනය පමණක් ප්‍රමාණවත් නෑ. ඔවුන් පුනරුත්ථාපනය කළ යුතුයි. ඒ සම්බන්ධයෙන් අපේ රටේ ප්‍රමාණවත් වැඩපිළිවෙළක් නැහැ.

දැනට ලංකාවේ ළමා ආරක්ෂණය සම්බන්ධ නීතිමය කටයුතු සඳහා මැදිහත් වන එකම රාජ්‍ය ආයතනය ජාතික ළමා ආරක්ෂක අධිකාරියයි. නමුත් සීමිත සේවක සංඛ්‍යාව සහ අවම පහසුකම් හේතුවෙන් අසීමිතව සිදුවන ළමා අපයෝජන සම්බන්ධයෙන් කටයුතු කිරීමට ඔවුන් දැඩි පරිශ්‍රමයක නිරත විය යුතුයි. ඒ නිසා නීති සම්පාදනය කළ පමණින්ම දරුවන්ගේ ගැටලු විසඳෙන බවට සතුටු විය නොහැකි තත්ත්වයකයි අපි ඉන්නේ.

වැඩිහිටියන්ට සැලකීම අපේ සමාජයේ ප්‍රමුඛ අංගයක්, ඔබ සිතනවාද ළමුන් ගැන එවැනි අවධානයක් ලැබෙනවා කියා?

පුංචි කාලෙ ඉඳලා ම අපි අපේ දරුවන්ට වැඩිහිටියන්ට සැලකීම ගැන උගන්වනවා. දරුවන්ගේ පාසල් පෙළපොත්වල සදාචාර ධර්මයන් අතර ප්‍රමුඛතම කාරණයක් විදිහට වැඩිහිටියන්ට බුහුමන් කිරීම හුවා දක්වනවා. ධර්ම දේශනා සිදුකරන පූජ්‍ය පක්ෂය දරුවන් වෙනුවෙන් පවත්වන හැම දේශනයකම පාහේ වැඩිහිටියන්ට සැලකීම උතුම් ගුණයක් ලෙස කියා දෙනවා. ඒත් දරුවන්ව තේරුම් ගැනීමට, දරුවන්ට සවන්දීමට අවශ්‍ය බව සහ දරුවන්ට දයා කරුණා ගුණයෙන් සැලකීමේ අවශ්‍යතාව අවධාරණය කරන අන්දමේ වැඩිහිටියන් දැනුම්වත් කිරීමේ වැඩසටහන් සහ ව්‍යාපෘති ප්‍රමාණවත්ව අපේ රටේ ක්‍රියාත්මක වෙන්නේ නෑ.

දරුවන්ගේ වර්ධනීය අවධි, ඔවුන්ගේ ශාරීරික සහ මානසික වෙනස්කම් අවබෝධ කොටගෙන දරුවන් සමඟ මනා සම්බන්ධතාවක් පවත්වාගෙන යාමට අපේ රටේ උගත් මවුපියන් පවා උත්සාහ කරන්නේ නැතිවීම කනගාටුදායක කාරණයක්. දරුවන් සමඟ සුහදව සාකච්ඡා කොට ඔවුන්ගේ සිතැඟිවලට අනුකූලව ක්‍රියා කිරීමට ඉඩදීම ඇතැම් මවුපියන්ට, ගුරුවරුන්ට මදි පුංචිකමක්. එසේ වුවහොත් දරුවන්ට අවවාද කිරීමට බැරි තත්ත්වයකට පැමිණේ යැයි සිතන අනිසි බිය නිසා දරුවන් සමඟ කුලුපගවීමට උත්සාහ කරන්නේ නැහැ. මෙයින් සිදුවන්නේ දරුවාට හානියක් මිස යහපතක් නොවෙයි.

වැලිකන්ද වැනි සිදුවීම්වල මනෝ විද්‍යාත්මක පසුබිම ගැන පැහැදිලි කිරීමක් කළ හැකිද?

විවාහක යුවළක් දරුවන් බිහි කරන්නේ හුදෙක් කායික අවශ්‍යතාවක් සන්තර්පණය කිරීමෙන් ඇති වන අතුරු පලයක් විදිහට නොවිය යුතුයි. මූලිකම කාරණය තමන්ට දරුවෙක් අවශ්‍යද, එම දරුවාට උපත දීමට සහ ඔහු හෝ ඇය යහපත් දරුවෙකු ලෙස සමාජයට දායාද කිරීමට තරම් සුදුසු මානසික හා කායික තත්ත්වයක් මවුපියන්ට පවතීද යන්න අවබෝධ කොට ගත යුතුයි. වර්තමානයේ ප්‍රාදේශීය පවුල් සෞඛ්‍ය සේවාව තුළින් මවුපියන් තුළ මෙම අවබෝධය ඇති කරන්නට උත්සාහ ගනිමින් ඉන්නවා.

අනික් අතට දරුවන්ට උපත දී හැදූ වැඩූ පමණින් ම දරුවාගේ මානසික හා කායික වර්ධනයට හා සුබසිද්ධියට අනතුරුදායක වන දඬුවම් පැමිණවීම පිණිස හානිකර බලතල පාවිච්චි කිරීමට මවුපියන්ට අයිතියක් නෑ. එවැනි අවස්ථාවල දරුවා වෙනුවෙන් ක්‍රියාත්මකවීමට නීතියට බලය හිමි වෙනවා.

නමුත් දරුවකුට අමානුෂික අන්දමට පහර දීම හෝ මොනයම් හෝ හිංසාවක් සිදුකිරීම කෙරෙහි ඇතිවන ආශ්‍රය නීතිමය දඬුවම් ලබාදීමෙන් පමණක් දුරලිය හැකි තත්ත්වයක් නොවෙයි. ඇතැම්විට මවුපියන්වත් නොදන්නා කුඩාකල සිටම අවරෝධනය කළ මානසික ගැටලු දරුවන් ඉදිරියේ කෝපාවිෂ්ටව මතුවිය හැකියි. එසේ නොමැති නම්, දරුවාගේ හැසිරීම තම ලිංගික හෝ පෞද්ගලික ජීවිතයට බාධාවක් වන අවස්ථාවන්හිදී දරුවා කෙරෙහි වෛරයක් ලෙස ඉස්මතු විය හැකියි. තවත් විටක වෙනත් පාරිසරික සාධකයක් හේතුවෙන් වුවත් මතුවන මානසික ව්‍යාකූලතාවක් වුවත් දරුවකු කෲරත්වයට පත්කිරීමට හේතු වෙන්න පුළුවන්. දරුවන් ලිංගික අපයෝජනයට පත්කරන්නේත් බොහෝවිට විකෘති මානසික තත්ත්වයන් ඇති පුද්ගලයන් විසින්. එබඳු අවස්ථාවක අදාළ සිද්ධියට පාදක වූ පුද්ගලයා ඒ සමාන වද හිංසාවකට ලක්කොට එයින් ලබන සතුටින් උදම් වීමෙන් මෙවැනි සාපරාධී ක්‍රියා නවත්වන්න බැහැ. එවැනි පුද්ගලයන් මනෝ ප්‍රතිකාර සඳහා යොමුකළ යුතුයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT