සසිකට අනුව සසික හේරත් කියන්නේ කවුද?
මම කාලයක් කලා ක්ෂේත්‍රයේ සහය අධ්‍යක්ෂ කෙනෙක්. සිහින සමීකරණ තමයි මගේ කුලුඳුල් අධ්‍යක්ෂණය. මම 2006 වගේ ජාතික තරුණ සේවා සභාවෙන් ඉගෙනගෙන සහය අධ්‍යක්ෂ කෙනෙක් විදියට ආව ගමනේ තමයි මේ විදියට චිත්‍රපට අධ්‍යක්ෂ කෙනෙක් වෙන්නේ.
ඔබේ Òසිහින සමීකරණÓ වැඩ පටන් ගත්තේ කොපමණ කලකට පෙරද?
මේකේ රූගත කිරීම් පටන් ගන්නේ 2020 පෙබරවාරි වගේ. 2019 අග භාගයේදී තමයි තිර පිටපත ලියන්න පටන් ගන්නේ. මේකෙ විශේෂම කාරණය තමයි, අපි 2019 ලියන තිර පිටපත අදටත් කොච්චර දුරට වලංගු ද සහ කාලීනද කියන එක. අපි මේකේ අධ්‍යාපන ක්‍රමවේදය ප්‍රශ්න ගැන කතා කරනවා. ඊට පස්සේ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් කතාවක් යනවා.
මේ චිත්‍රපටය සිහින සමීකරණ කියලා නම් කරන්නේ ඇයි?
අපි මේ චිත්‍රපටය තුළ කතා කරන්නේ තරුණ වයස අය ගැන. ඒ කියන්නේ උසස් පෙළ හා විශ්වවිද්‍යාල වයස කියන්නේ තාරුණ්‍යය නියෝජනය කරන වයස. ඒ හැමෝටම ජීවිතවල සිහිනයක් තියෙනවා. අනාගතයේ අපි කවුරු වෙනවද කියන එක ගැන උසස් පෙළදීත් සරසවියේදීත් අපි හැමෝටම සිහිනයක් තියෙනවා. ඒ සිහිනවලට අධ්‍යාපනය ලොකුවට බලපානවා. හැබැයි හැමෝටම අපි හිතන පතන විදිහටම ගමන යන්න ලැබෙන්නේ නෑ. අපේ ජීවිතය ඇත්තටම සමීකරණයක්. මං වුණත් මේ චිත්‍රපටය සාර්ථක කර ගන්න ලොකු සමීකරණයක් විසඳමිනුයි ඉන්නේ. අපේ සිහින විසඳගන්න එක සමීකරණයක් කියන එක තමයි මේ කතාවට නම දාන්න හේතු වුණේ.
මෙයින් ඔබ සමාජයට යම් පණිවිඩයක් දෙන්න උත්සාහ කරනවාද?
පණිවිඩයක් දෙන අරමුණින් නෙවෙයි, මම මේ තේමාව තෝර ගත්තේ. හැබැයි ප්‍රේක්ෂකයාට මේ චිත්‍රපටය බලලා ගන්න පුළුවන් පණිවිඩයක් තියෙනවා නම්, ඒක බෝනස් එකක්. මේකෙන් සමාජයක් හදන්න ඕනෑ කියන හැඟීමකින් අරමුණකින් මං චිත්‍රපටියක් කළේ නෑ. ඒ ඇරුණාම මම හිතනවා කාලීන මාතෘකාවක් නිසා තාරුණ්‍යයට මේ චිත්‍රපටිය තමන්ගේ ඇත්ත ජීවිතවල හම්බෙන මිනිස්සු ගැන අවබෝධයක් ලැබෙයි කියලා.
ඔබට හිතන පරිදි සිංහල සිනමාව තුළ වත්මනේ යම් සාධනීය ප්‍රගමනයක් තියෙනවද?
නිර්මාණාත්මකව පැත්තෙන් හොඳ සාධනීය ප්‍රවණතාත් තියෙනවා. හොඳ නිර්මාණ බිහි වෙනවා. හොඳ අධ්‍යක්ෂවරු බිහිවෙනවා. අලුත් තේමාවන්වල නිර්මාණ බිහිවෙනවා. තාක්ෂණික හා කාර්මික පැතිවල පවා ක්‍රමානුකූල වර්ධනයක් තියෙනවා. නිර්මාණකරුවන්ට කොයිතරම් දුරට ඒකට අවස්ථාව ලැබෙනවාද? ආධුනිකයන්ට හා ප්‍රවීණයන්ට කොයිතරම් දුරට සමාන සැලකිල්ලක් ලැබෙනවාද කියන ප්‍රශ්නය නම් තාම තියෙනවා. ඊට අදාළ මණ්ඩල හා රාජ්‍ය ආයතනවලින් කොයි තරම් දුරට සාධාරණයක් වෙනවාද කියන එක ගැනත් ගැටලුවක් තියෙනවා. මං කලා ක්ෂේත්‍රයට ඇවිත් දැන් අවුරුදු පහළොවක් වෙනවා. ඒ එනකොටත් මේ ප්‍රශ්නය ඒ විදිහටම තිබ්බා. අදටත් ඒක එහෙම්මම තියෙනවා. කලා ක්ෂේත්‍රයට නම් ප්‍රේක්ෂකයන්ගේ ගැටලුවකුත් නෑ. නිර්මාණකරුවන්ගේ ගැටලුවකුත් නැහැ. ගැටලුව තියෙන්නේ පරිපාලනයේ.
මේ සිනමා පටය සඳහා දායකත්වය දරපු ශිල්පීන් පිළිබඳව මතක් කළොත්?
මේකේ තිර පිටපත ලියන්නේ දර්ශන විද්‍යා අරවින්දයි. එයාගේ පළවැනි තිරරචනයයි මේ. නිෂ්පාදන කළමනාකරුවන් ලෙස කටයුතු කරන්නේ දුමින්ද පෙරේරා සහ අරවින්ද පෙරේරා. සංගීතය චින්තක ජයකොඩි. ගීත රචනා කරන්නේ උපුල් ශාන්ත සන්නස්ගල. ගීත ගායනය කළේ හර්ෂණ දිසානායක සහ නෙල්කා තිළිණි. නිෂ්පාදනය මහාචාර්ය චරිත් ජයතිලක සහ ධම්මික ගී කියනගේ.
රංගන ශිල්පීන් සම්බන්ධයෙනුත් කතා කරමු?
රංගන ශිල්පීන් ගත්තොත් කසුනි කාවින්දි, අෂාන් ඩයස්, රන්දික ගුණතිලක, රෙබෙකා දිල්රුක්ෂි, නයනා හෙට්ටිආරච්චි, වසන්ත විට්ටච්චි, මොරින් චාරුණී කියන අය දායක වුණා.
මේ නිර්මාණයට නළු වරණයේදී මේ නළු නිළියන්වම තෝරා ගන්න විශේෂ හේතුවක් තිබුණාද?
මේ කතාව තරුණ්‍යය වටා ගොඩනැඟුණු කතාවක්. මේකෙ ඉන්න ගොඩක් අය තරුණ අය. මං මේකට මෙයාලාව තෝරගන්නේ 2020 දී විතර. ඒ වෙද්දී මේ අය ටෙලිනාට්‍ය හරහා ගොඩක් ජනප්‍රිය වෙලා හිටි අය නෙමෙයි. මට අවශ්‍ය වුණා මේ සඳහා මෙම වයස් කාණ්ඩයේ අලුත් හොඳ දක්ෂයෝ ටිකක් තෝරාගන්න. ටෙලිනාට්‍යවල දැකලා තෙම්පරාදු වෙලා තිබුණු මුහුණු මට අවශ්‍ය වෙලා තිබුණේ නැහැ.
මෙරටේ සිනමා කර්මාන්තයට සමාජ මාධ්‍යවල බලපෑම ඔබ දකින්නේ කෙසේද ?
ඒක ධනාත්මකව සහ ඍණාත්මකව කියන දෙවිදියටම බලපානවා. ඒක තීරණය වෙන්නේ භාවිත කරන්නා සහ භාවිත කරන ආකාරය මතයි. සමාජවාදී ස්වභාවය මේ සිනමාවට ඉතාමත් හොඳයි. ඉස්සර කරලා වගේ පෝස්ටර් හැමතැනම අලවලා පරිසරය අපවිත්‍ර නොකර එකවර විශාල පුද්ගල ප්‍රමාණයකට අපිට අවශ්‍ය පණිවිඩය, අපිට අවශ්‍ය වයස් කාණ්ඩයට සම්ප්‍රේෂණය කිරීමේ හැකියාව සමාජ මාධ්‍යෙයන් ලැබුණු වාසියක්. ඒක ඉතා හොඳ ප්‍රවණතාවක්.
දීපති ජයසූරිය