පාදුක්ක – හංවැල්ල බස් රථයක බස් රථ කොන්දොස්තරවරයකුගෙන් කප්පම් ඉල්ලා ලබා නොදීමෙන් පසු එම පුද්ගලයා විසින් පාදුක්ක, මීපේ මංසන්ධිය ආසන්නයේදී කොන්දොස්තරවරයාට තියුණු ආයුධ ප්‍රහාර කිහිපයක් එල්ල කර පලාගොස් ඇතැයි පාදුක්ක පොලිසිය පැවසීය.
තුවාල ලැබූ කොන්දොස්තරවරයා පාදුක්ක දිසා රෝහලට ඇතුළත් කර ඇති අතර, ඔහුගේ ශරීරයේ ස්ථාන හතරකට තියුණු ආයුධ ප්‍රහාර එල්ල වී ඇතැයි ද ප්‍රතිකාර ලැබීමෙන් පසු පාදුක්ක දිසා රෝහලේ වාට්ටුවක නේවාසිකව සිටින බවද පාදුක්ක දිසා රෝහලේ ප්‍රකාශකයකු කියා සිටියේය.
තියුණු ආයුධ ප්‍රහාරය එල්ල කළ සැකකරු අදාළ බස් රථයට තුන්නාන ප්‍රදේශයේදී ගොඩ වී ඇති බවත්, එහිදී සැකකරු විසින් කොන්දොස්තරවරයාගෙන් රුපියල් දෙදහසක මුදලක් ඉල්ලා සිට ඇති බවත්, එම මුදල ලබා දීම කොන්දොස්තරවරයා ප්‍රතික්ෂේප කිරීමෙන් පසු මෙලෙස තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කර පලාගොස් ඇති බවත් අනාවරණය වූ බව පොලිසිය කීය.
සැකකරු තුන්නාන ප්‍රදේශයේම පදිංචිකරුවකු වන මත්ද්‍රව්‍ය පානයට දැඩි ලෙස ඇබ්බැහි වූ අයකු බවට හඳුනාගෙන ඇති අතර, සැකකරු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර තිබේ.
පාදුක්ක පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් පරීක්ෂණ පවත්වයි.