මහා මාර්ගයේ රැඳී සිටි පිරිසක් යාපනය අච්චුවේලී උලවිකුලම් ගණ දෙවි කෝවිලේ සහායක පූසාරිවරයාට අත් පොරොවකින් පහර දී ඔහුව කපා කොටා දැමීම නිසා බරපතළ තුවාල ලැබූ ඔහුව පෙරේදා (6) අච්චුවේලී රෝහලට ඇතුළත් කොට තිබේ.
අවුරුදු 38ක් වන මෙම සහායක පූසාරිවරයා කෝවිලේ සිට නගරය දෙසට සිය යතුරු පැදියෙන් ගමන් කරමින් සිටියදී මහමඟ රැඳී සිටි පිරිසක් ඔහුව නතර කොට ඇත. පූසාරිවරයා යතුරුපැදිය නවත්වනවාත් සමඟම එක් අයකු ඔහුගේ හිසට අත් පොරොවකින් පහර දී ඇති අතර, ඔහු බිම ඇද වැටීමත් සමඟම එම අත් පොරොවෙන්ම ඔහුට කොටා තුවාල සිදු කොට තිබේ.
පූසාරිවරයා මහා හඬින් කෑගසීමත් සමඟම මාර්ගයේ සිටි පිරිස යතුරු පැදිවල නැඟී පලා ගොස් තිබේ. පූසාරිවරයාට ප්රහාරය එල්ල කළ අත් පොරොව පූසාරීවරයා බිම වැටුණු ස්ථානයේම දමා ගොස් තිබියදී පොලිසියට හමුව තිබිණ. මෙම ප්රහාරය එල්ල කිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් අච්චුවේලි පොලිසිය පරීක්ෂණ ආරම්භ කොට තිබේ. ප්රදේශවාසීන් කියා සිටියේ මෙම පූසාරිවරයා සහායක පූසාරීවරයා වශයෙන් පත් වූ දා සිටම කෝවිලේ උන්නතිය වෙනුවෙන් විශාල කාර්යභාරයක් ඉටු කොට ඇති අතර පසුගිය දිනවල පැවැති කෝවිල් උත්සවයේදී රථය අදින ලද අවස්ථාවේදී දෙපිරිසක් අතර ආරවුලක් ඇති වීමත්, කෝවිල වටා තාප්පයක් ඉදිකිරීමට යෑමේදී මෙම සහායක පූසාරිවරයාට පිරිසක් විරුද්ධ වීමත් යන කාරණා මෙම ප්රහාරයට හේතු විය හැකි බවයි.