- ගංවතුර ගැන කතාබහ දුරදිග ගිහින්
- නිලධාරීන් හබලකින් ගැසුවා කියා පහර දුන් අයත් රෝහලේ
ගංවතුරෙන් අවතැන්වූවන්ට ආහාර බෙදීමට ගිය අවස්ථාවේදී බහින්බස් වීමක් දුරදිග ගොස් ඇති වූ ගුටි බැට හුවමාරුවකින් සංවර්ධන නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකු රෝහල් ගතව ඇතැයි අඟුරුවාතොට පොලිසිය කියයි.
රෝහල්ගතව ඇති සංවර්ධන නිලධාරීන් දෙදෙනා මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්ත දෙදෙනෙකි. පොලිසිය සඳහන් කළ පරිදි සංවර්ධන නිලධාරීන් දෙදෙනා ගංවතුර හේතුවෙන් අවතැන් වූවන් රැඳී සිටින උඩුවර කනිෂ්ඨ විද්‍යාලයට ආහාර බෙදා දීමට පැමිණි අවස්ථාවේදී කිතුලහේන මාර්ගයේ කිරිමැටිය පාලම ප්‍රදේශයේ මුව පට්ටිය හන්දිය අසලදී පුද්ගලයන් තිදෙනෙකු මුණ ගැසී තිබේ. ඔවුන් නිලධාරීන්ගෙන් ගංවතුර පිළිබඳ විමසා ඇති අතර, එවිට නිලධාරීන් ඔවුන්ගෙන් කොහාටද යන්නේ යැයි විමසා ඇත. එහි සිටි එක් පුද්ගලයකු “අපි යන තැන වැඩක් නෑ අහපු දේට උත්තර දෙනවා” කියමින් සංවර්ධන නිලධාරීන්ගේ වම් කන ප්‍රදේශයට අතින් පහර දුන් බවට එම නිලධාරීන් විසින් කරන ලද පැමිණිල්ලේ සඳහන්ව තිබේ.
ආහාර පාර්සලයක් ඉල්ලා සිටි අවස්ථාවේදී සංවර්ධන නිලධාරීන් දෙදෙනා හබලකින් පහර දුන් බව පවසමින් පහර දුන් බව කියන පුද්ගලයා ද රෝහල් ගතව ඇතැයි පොලිසිය සඳහන් කළේය.
ගල්පාත ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත්ව සිටි සංවර්ධන නිලධාරීන් දෙදෙනා වැඩිදුර ප්‍රතිකාර සඳහා හොරණ මූලික රෝහල වෙත ඇතුළත් කර තිබේ. අඟුරුවාතොට පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රදීප් ආනන්ද සිල්වා මහතාගේ උපදෙස් මත විමර්ශන සිදු කෙරේ.