ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ චිත්ර ශිල්පියකු වූ ගුණසිරි කොළඹගේ මහතා අවුරුදු 85ක් ආයු වලඳා පෙරේදා (6) රාත්‍රියේ අභාවප්‍රාප්ත විය.
බෞද්ධ සිතුවම් කලාවේ මෙන්ම මෙරට ප්‍රචාරණ මාධ්‍ය ක්ෂේත්රයේද ප්‍රවීණයකු වූ ඒ මහතා ලංකාවේ දැන්වීම් කලාව වෙත යොමු වෙමින් නිදහස් ශිල්පියකු ලෙස කටයුතු කර ඇත. 1954 වසරේ සිට 1959 වසර දක්වා වූ එච්.බී. පෙරේරා හා ස්ටැන්ලි අබේසිංහ යන ප‍්‍රසිද්ධ චිත්ර ගුරුවරුන් යටතේ ලලිත කලා විද්‍යායතනයෙන් චිත්ර හදාරා ඇති ඔහු 1959 වසරේ දී ජී.ඇස්. ප‍්‍රනාන්දු යටතේ දිය සායම් චිත්ර කලාවත්, සුසිල් ප්‍රේමරත්නයන්ගෙන් රේඛා චිත්‍රත් හදාළේය. බෞද්ධ චිත්ර නිර්මාණයෙහි දස්කම් පෑ චිත්ර ශිල්පියකු වූ ඔහු පැවැත්වූ ‘බුද්ධරාජ’ නම් චිත්ර ප්‍රදර්ශනය දෙස් විදෙස් පැසසුමට ලක් විය.
කොළඹගේ මහතා තමන්ටම ආවේණික ශෛලියක් ගොඩනඟාගත් චිත්ර ශිල්පියකු වූ අතර චීනය, චෙකෝස්ලෝවැකියාව, මාලදිවයින ඇතුළු රටවල් ගණනාවක මූර්ති, සිතුවම් නිර්මාණ සිදු කර ඇත. සිය පළමු ඒක පුද්ගල චිත්ර ප්‍රදර්ශනය 1961දී පවත්වා තිබෙන කොළඹගේ මහතා 1987 දී ඔහු ‘යුද්ධයට එරෙහිව’නමින් චිත්ර ප්රදර්ශනයක්ද පැවැවීය. කොළඹගේ මහතා සිතුවම් කළ චිත්‍ර 100ක් පමණ ඇතුළත් ‘ජීව රටා’ චිත්ර ප්‍රදර්ශනයද 2014 වසරේදී පැවැත්විණි.
වෙළෙඳ දැන්වීම් ප්‍රචාරණ කලාවෙහි ඇසූපිරූ තැන් ඇති ප්‍රමුඛයකු වූ කොලඹගේ මහතා ‘දිවයින’ සහ ‘The Island’ පුවත්පත්වල නාම ඵලකද නිර්මාණය කළේය. උපාලි සමූහ ව්‍යාපාරයේ ලාංඡනය නිර්මාණයද ගුණසිරි කොළඹගේ මහතාගේ වන අතර, පළමුවරට පුවත්පතක සිංහල පරිගණක අකුරු ඇමුණුම් පද්ධතියක් දිවයින පුවත්පතට හඳුන්වා දීමටද පුරෝගාමි විය. ප්‍රසන්න, මයුරි සහ සුදන්ති යන තම දරු තිදෙනාගේ නම්වලින් සිංහල අකුරු රටා හඳුන්වා දුන් ඔහු අතින් ලක්ෂ්මි සහ ගනේෂ් යන නම්වලින් දෙමළ අකුරු රටාද නිර්මාණය විය.
අද (7) පෙ.ව. 8.30 සිට රාත්‍රී 10.00 දක්වාත් හෙට (8) පෙ.ව. 8.30 සිට සවස 3.00 දක්වාත් ඒ මහතාගේ දේහය බොරැල්ල ජයරත්න මල් ශාලාවේ ‘Respect’ ශාලාවේ තැන්පත් කර තැබෙන අතර, අවසන් කටයුතු හෙට (8) ප.ව. 4.00ට බොරැල්ල සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.