මන්ත්‍රීවරුන්ගේ අත්සන් ලබාගෙන මුදල් කාරක සභාවේ සභාපති ධුරයෙන් තමා පන්නාදැමීමේ කුමන්ත්‍රණයක් පවතින බව මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (7) ප්‍රකාශ කළේය. කාරක සභා වාර්තාවක් ඉදිරිපත් කරන අතරතුර විශේෂ ප්‍රකාශයක් කරමින් හර්ෂ ද සිල්වා මහතා මේ කරුණ සම්බන්ධයෙන් සභාවේ අවධානය යොමු කළේය.
එවැනි ආකාරයට විවිධ උත්සාහයන් දරනවා වෙනුවෙන් තමා ඉවත් කළ යුතු නම් ඒ පිළිබඳ දැනුම් දෙන ලෙසද හර්ෂ ද සිල්වා මහතා පැවසීය.
“මම මේ මුදල් කාරක සභාවේ සභාපති ධුරය නැවතත් භාර ගත්තේ අභියෝග රැසක් ජයග්‍රහණය කරමින්. මාව දෙපාරක් මේ සභාපති ධුරයෙන් ඉවත් කළා. තුන්වැනි වතාවේ විපක්ෂ නායකතුමාගේ දැඩි ඉල්ලීම මත තමයි මේ තනතුර මට හිමි වූයේ. මට මේකෙන් වරප්‍රසාදයක් ලැබෙන්නේ නෑ. මගේ බිරියගෙන් ඇහුවොත් කියයි: මම නිදාගන්න කොට රෑ 2.45-3ට විතර වෙනවා. මට කාර්යාලයකුත් නෑ. මට වැඩ කරන්නේ ඇනලසීස් නිලධාරීන් තුන් දෙනෙක් විතරයි. මේ වැඩේ කරන කොට යම් කිසි ගරුත්වයක් තිබිය යුතුයි. මට කාර්ය මණ්ඩලයක් නෑ. ඉන්න තුන් දෙනාට පඩි ගෙවාගන්න විදිහකුත් නෑ. මට කාට හරි වඳින්න වෙලා තිබෙනවා ඒ තුන්දෙනාට පඩි ගෙවන්න කියලා. හැම මුදල් පනතක්ම අපි විශ්ලේෂණය කරන්න ඕනෑ. හැම දේකටම අපට මරාගන්න වෙලා තිබෙනවා. මෙහෙම ගිහින් මගේ ප්‍රෙෂර් එක වැඩි වෙලා මැරෙන එකයි වෙන්නේ.
“සමහර වෙලාවට මට අතින් පඩි ගෙවන්න වෙලා තිබෙනවා. මේ තනතුර සටන් කරලා ගත්තේ ප්රජාතන්ත්රවාදය වෙනුවෙන්. පළමු වතාවේ මාව පැන්නුවේ ගල් අඟුරු ප්‍රශ්නය මුල් කරගෙන. එදා ගල් අඟුරු ගත්ත නම් අද ගෙවන්න වන ඩොලර් ප්‍රමාණය බලන්න. අපට පුළුවන් වුණා මහා වංචාවක් වළක්වන්න. මාව දෙවැනි පාර පැන්නුවේ මෙහේ කට්ටිය වෝටර්ස්එජ් එකට එක්කන් ගිහින් අයිඑම්එෆ් එකට යා යුත්තේ කියලා බංකොලොත් වෙන්න කලින් කරපු සම්මන්ත්රනය. ඒකට කට්ටිය ගෙනිච්චේ මෙහේ බස් එකකින් කියලා. බස් එකේ ගෙනිච්චේ පෙට්‍රල් ගණන් නිසායි. ඊට පස්සෙ මේ කැසිනෝ රෙගියුලේටර් කෙනෙක් නැති නිසා අපි ලයිසන් දෙන්න බෑ කිවුවා. ඒ ගැන අප දැන් ක්‍රියා කරගෙන යනවා. ඊළඟට කෘෂිකර්මයට වැට් බද්ද ගහන එක ගැන මහා පෙනී සිටීමක් මම කලා. ඒ වගේ තවත් කාරණා ගණනාවක්… කිරිපිටි අඩු කළා. සීනි වංචාව ගැන කතා කළා. මහා බැංකුවේ පඩි වැඩි කිරීම ගැන ක්‍රියා කළා. ඒ වගේ විශාල වැඩ කොටසක් ඉටු කළා.” යැයිද ඔහු කීවේය.