Home » වී වගාවේ පැරෂුට් තැටි සහනාධාරයට වෙන් කෙරෙන මුදල තවත් වැඩි කරයි

වී වගාවේ පැරෂුට් තැටි සහනාධාරයට වෙන් කෙරෙන මුදල තවත් වැඩි කරයි

by chanaka
June 7, 2024 1:33 pm 0 comment

2024 මහ කන්නයේ දී වී වගාව සඳහා ගොවි ජනතාවට සහනාධාර පදනම යටතේ ලබා දෙන පැරසුට් තැටි මිල දී ගැනීම සඳහා වැය කරන මුදල රුපියල් මිලියන 320ක් දක්වා ඉහළ නැංවීමට තීරණය කළ බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

ඉදිරි මහ කන්නයේ දී පැරෂුට් තැටි සඳහා කළින් වෙන් කර තිබුනු මුදල රුපියල් මිලියන 04කි. නමුත් එම මුදල කිසිසේත්ම ප්‍රමාණවත් නොවන නිසා අදාල මුදල වැඩි කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව අමාත්‍යවරයා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නේය.

වී වගාව සඳහා පැරෂුට් තැටි ලබා දීමේ දී වැය වන මුදලින් සියයට 75ක් සහනාධාර පදනම යටතේ රජය විසින් ද, සියයට 25ක් ගොවි ජනතාව විසින් ද දරනු ලබයි.

පැරෂුට් ක්‍රමය යනු වී වගාවේ අස්වනු ඉහළ නැංවීම සඳහා භාවිතා කරන සාර්ථකම වගා ක්‍රමයක් වේ. මෙම ක්‍රමය මගින් අවම පොහොර ප්‍රමාණයක් භාවිතා කිරීමට හැකි වීම මෙන්ම වල් පැළ මර්දනය සඳහා අමතර මුදලක් වැය නොවීම ද ගොවි ජනතාවට සිදුවන වියදම් අවම කර ගැනීමට හේතුවේ.

සාමාන්‍යයෙන් හෙක්ටයාර් එකක වී වගාව සඳහා අවශ්‍ය පැරෂුට් තැටි ප්‍රමාණය 1000කි. මින් පැරෂුට් තැටි 750ක් රජය විසින් නොමිලයේ ලබා දෙන අතර ඉතිරි 250 ගොවීන් විසින් මිල දී ගත යුතුය.

මෙරට කෘෂිකර්මාන්තයට නව තාක්ෂණය හදුන්වා දීම සඳහා රජය ගෙන යන වැඩ පිළිවෙළ යටතේ මෙම පියවර ගත් බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි. විශේෂයෙන් ඉදිරි වගා කන්න හයක් තුළ මෙරට වී අස්වැන්න පස් ගුණයකින් ඉහළ නැංවීම රජයේ ඉළක්කය වේ. ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන් විසින් මෙරට කෘෂිකර්මාන්ත අංශ නවීකරණය සඳහා අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙස තමන්ට උපදෙස් දී ඇතැයි පැවසූ අමාත්‍යවරයා පැරෂුට් තැටි ලබා දීම සඳහා වැය කරන මුදල රුපියල් මිලියන 04 සිට රුපියල් මිලියන 320ක් දක්වා ඉහළ නැංවීමට තීරණය කළේ ඒ නිසා බව ද සඳහන් කළේය.

ඊයේ (06) කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ දී ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුව සමග පැවැති සාකච්ඡාවක් අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT