Saturday, April 19, 2025
Home » ඉතාලියේ සිට පැමිණි කාන්තාව නිවසේ දී ඝාතනය කෙරේ

ඉතාලියේ සිට පැමිණි කාන්තාව නිවසේ දී ඝාතනය කෙරේ

by yasara
June 7, 2024 10:26 am 0 comment

ඉතාලියේ සිට පැමිණ මාවතගම පිලැස්ස මාස්වැව ලිපිනයේ පදිංචිව  සිටි මාරි රූඩ් පෙරේරා නමැති 62 හැවිරිදි කාන්තාව නිවස තුළදීම  කපාකොටා ඝාතනය කර ඇති බව මාවතගම පොලීසිය පවසයි.

ඊයේ (6) රාත්‍රි 8.00 ට පමණ මෙම ඝාතනය සිදුව ඇති බව වාර්තාවේ.

දෙදරු මවක වන එම කාන්තාවගේ පවුලේ සාමාජිකයන් ඉතාලියේ පදිංචිව සිටින බවත් ඇය කලක් ඉතාලියේ රැකියාවක නියුතුව සිට පසුගිය 29 වන  දින ලංකාවට පැමිණ ඇයට අයත් ඉහත ලිපිනයේ පිහිටි නිවසේ පදිංචිව සිට ඇති බවත් පැවසෙයි.

නිවසේ මුදල් හා දේපල සොරා ගැනීමේ අරමුණින් මෙම ඝාතනය සිදුකර ඇති බවටද සැක කරනු ලබයි. එසේම මෙම ඝාතනයට නිධානයක් හා සම්බන්ධ තොරතුරුද ලැබී ඇති බැවින් ඒ සම්බන්ධයෙන්ද වැඩිදුර විමර්ශන සිදු කරන බවද පොලීසිය කියයි.

භික්ෂුවක් සමඟ පැමිණි පුද්ගලයන් කීප දෙනෙකු නිධානයකින් ලබාගත් බව කියන මැණික් හෝ රන් කැබලි (මරන්චි) පෙන්වා ඒවා එම කාන්තාවට ලබාදී රුපියල් ලක්ෂ 10 ක පමණ මුදලක් ලබාගෙන ඇති බවද පොලිස් විමර්ශන වලදී අනාවරණය වී තිබේ. එම පිරිස මැදිරිගිරිය ප්‍රදේශයේ සිට පැමිණ ඇති බවට මේවනවිට හඳුනාගෙන තිබේ.

මොවුන්ට අමතරව එම නිවසේ සේවයට පැමිණ සිටි යුවළක් සම්බන්ධයෙන්ද තොරතුරු අනාවරණය කර ගැනීම සඳහා පොලිස් විමර්ශන දියත් කර ඇත.

පොලිස් නිල සුනඛයන් යොදා සිදු කළ මෙහෙයුමකදී ඝාතනයට ලක්වූ කාන්තාව සිටි නිවස ආසන්නයේ පිහිටි කුඹුරක තිබී පාවහන් ජෝඩුවක්ද පොලීසියට හමුවී තිබේ.

මේ වනවිට ඝාතනයට සම්බන්ධ බවට සැක කරන පුද්ගලයන් මෙන්ම ඔවුන් පැමිණි බව කියන වාහන සම්බන්ධයෙන්ද තොරතුරු ලැබී ඇති බැවින් මාවතගම පොලීසිය සමඟ තවත් පොලිස් කණ්ඩායම් කීපයක් යොදවා ඔවුන් අත්අඩංගුවට ගැනීමට වැඩිදුර පරීක්ෂණ සිදු කරන බව කුරුණෑගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සුජිත් වෙදමුල්ල මහතා ප්‍රකාශ කළේය.

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT