Tuesday, April 15, 2025
Home » 2030 වන විට නවීන තාක්ෂණය භාවිතා කරමින් තරගකාරී කෘෂිකර්මාන්තය කරා ගමන් කළ යුතුයි – ජනපති

2030 වන විට නවීන තාක්ෂණය භාවිතා කරමින් තරගකාරී කෘෂිකර්මාන්තය කරා ගමන් කළ යුතුයි – ජනපති

by yasara
June 7, 2024 11:58 am 0 comment

වී නිෂ්පාදනය ප්‍රමුඛ කර ගනිමින් තරගකාරී අපනයන වෙළඳපොල ජය ගත හැකි නිෂ්පාදන කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු බවත් 2030 වන විට නවීන තාක්ෂණය භාවිතා කරමින් තරගකාරී කෘෂිකර්මාන්තය කරා ගමන් කළ යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

එසේ නොවුනහොත් අනාගතය ජයගත නොහැකි බව පෙන්වා දුන් ජනාධිපතිවරයා  අපනයන වෙළඳපොල තුළ තරගකාරීත්වයට මුහුණ දිය නොහැකි නිෂ්පාදන අත්හැරීම වඩාත් සුදුසු බවද පෙන්වා දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ජනාධිපති කාර්යාලයේදී ඊයේ (06) පස්වරුවේ පැවති කෘෂිකර්ම නවීකරණ වැඩසටහනේ ප්‍රගති සමාලෝචන රැස්වීමේදීය.

රට පුරා තෝරා ගත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 26ක ක්‍රියාත්මක කෘෂිකර්ම  නවීකරණ වැඩසටහන යටතේ එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකට රුපියල් මිලියන 25 බැගින් වෙන් කර ඇති අතර, එම නියමු ව්‍යාපෘතියේ වත්මන් ප්‍රගතිය පිළිබඳ වාර්තාවක් ද මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඉදිරිපත් කෙ‍රිණි.

කෘෂිකර්ම හා ධීවර යන අමාත්‍යාංශ යටතේ ක්‍රියාත්මක වැඩසටහන්, තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන පිහිටුවීමේ වැඩසටහන් සහ කෘෂි නවීකරණ වැඩසටහන සඳහා පෞද්ගලික අංශයේ සහභාගීත්වය ආදී කරුණු මෙම වාර්තාවට ඇතුළත් වේ.

නවීන තාක්ෂණය භාවිතයෙන් අපනයන වෙළඳපොළ සඳහා තරගකාරීව භාණ්ඩ සැපයීමත් ඒ තුළින් අපනයන වෙළඳපොල ජයගැනීමත්, විදේශ විනිමය හා ගොවි ආර්ථිකය ඉහළ නැංවීම මෙම ව්‍යාපෘතියේ අපේක්ෂිත ඉලක්කය වේ.

මෙම ඉලක්ක ජය ගැනීම සඳහා  රිලවුන් සහ වන අලින්ගෙන් වගාවන්ට සිදුවන හානි හා පසු අස්වනු හානි අවම කර ගැනීමට සුදුසු ක්‍රමවේදයක් සකස් කිරීම පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්විය.

අනාගත අපනයන වෙළඳපොළ සඳහා තරගකාරීව මුහුණදීමේදී නවීන තාක්ෂණය අත්‍යාවශ්‍ය බව මෙන්ම වගාබිම් සඳහා අවශ්‍ය යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා රජයේ මැදිහත්වීමේ අවශ්‍යතාවය මෙම සාකච්ඡාවට එක් වූ පෞද්ගලික අංශයේ නියෝජිතයින් පෙන්වා දුන්නේය.

ශ්‍රී ලාංකීය අනන්‍යතාවයකින් යුත් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළඳපොළ වෙත අපනයනය කිරීම සඳහා පවතින බාධක ඉවත්කර ගැනීම සඳහා මැදිහත් වන ලෙසද ඔවුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටියේය.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක , ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක ආචාර්ය ආර්.එස්.එච්. සමරතුංග, කෘෂිකර්ම හා වැවිලිකර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් බී.එල්. ඒ. ජේ. ධර්මකීර්ති, වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් සමන් දර්ශන පාඬිකෝරාල , ධීවර අමාත්‍යාංශයේ ලේකම් කේ. එන්. කුමාරි සෝමරත්න යන මහත්ම මහත්මීන් ඇතුලු රේඛීය ආයතන නිලධාරීන් හා වානිජමය ලෙස කෘෂිකර්මාන්තයේ නියැලෙන පෞද්ගලික අංශයේ නියෝජිතයින් පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT