Home » අන්සතු ගමන් බලපත්‍රයකින් කැනඩා යෑමට ගිය තරුණයෙකු අත් අඩංගුවට

අන්සතු ගමන් බලපත්‍රයකින් කැනඩා යෑමට ගිය තරුණයෙකු අත් අඩංගුවට

by yasara
June 5, 2024 10:03 am 0 comment

අනුරාධපුර නගරයේ තැරැව්කරුවෙකු විසින් රුපියල් එක් කෝටි තිස් ලක්ෂයක් ලබා දෙන පොරොන්දුව මත  ලබා දුන් , අන් අයෙකු සතු , වලංගු වීසා බලපත්‍රයක් හිමි ගමන් බලපත්‍රයක් යොදා ගෙන කැනඩාව බලා පළා යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලාංකික තරුණයෙකු අද (05)  දින අලුයම ආගමන විගමන නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

මොහු 34 හැවිරිදි යාපනය ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි .

මෙම තරුණයා අද අලුයම 04.30 ට ඉටිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි.- 395 දරන ගුවන් යානයට පිවිසීම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

ඔහු සිය ගුවන් ගමන් නිශ්කාශන කටයුතු නිමා කර , විගමන කවුළුව වෙත පැමිණ සිය ගමන් බලපත්‍රය එහි සේවය කළ ආගමන විගමන නිලධාරීවරයා වෙත ඉදිරිපත් කර තිබේ .

එහිදී ගමන් බලපත්‍රයෙහි ඇති ජායාරූපය සහ මොහුගේ ජායාරූපය එකිනෙකට වෙනස් බවක් පෙන්නුම් කළ නිසා , මෙම ගමන් බලපත්‍රය පිළිබඳ වැඩිදුර තොරතුරු අනාවරණය කර ගැනීම සදහා එහි සදහන් තොරතුරු  ආගමන විගමන දෙපාර්තමේන්තු පරිගණක පද්ධතිය වෙත  ඇතුළත් කර තිබේ.

එහිදී මෙම ගමන් බලපත්‍රය හිමි තැනැත්තාට එරෙහිව ත්‍රිකුණාමලය අධිකරණය විසින් රටින් පිටවීම තහනම් කරමින් ගුවන් ගමන් තහනමක් පනවා ඇති බවට ද කරුණු අනාවරණය විය .

ඒ අනුව මෙම තරුණයා ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් වෙත යොමු කිරීමට පියවර ගෙන තිබුණි .

එහිදී මෙම තරුණයාගේ ගමන් මල්ල තුළ තිබී ඔහුගේ සැබෑ ජාතික හැදුනුම්පත සොයා ගැනීමට හැකි වී ඇති අතර , ඉන්පසුව ඔහු සියලුම සත්‍ය සිදුවීම ආගමන විගමන නිලධාරීන් හමුවේ අනාවරණය කර තිබේ .

අනුරාධපුර නගරයේ තැරැව්කරුවෙකු විසින් කැනඩාවට ගිය පසු , රුපියල් එක් කෝටි තිස් ලක්ෂයක මුදලක් ඔහු වෙත ලබා දීමේ පොරොන්දුව මත මෙම  කැනඩාවේ වලංගු වීසා බලපත්‍රයක් හිමි මෙම ගමන් බලපත්‍රය ලබා දුන් බව මෙම තරුණයා අනාවරණය කර තිබේ .

ඒ අනුව ආගමන විගමන නිලධාරීන් විසින් මෙම තරුණයා  අත් අඩංගුවට ගෙන මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබේ .

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT