Home » අඩුපාඩුකම් හේතුවෙන් දුන්ගොල්ල ප්‍රාථමිකයේ සිසුන්ගේ අධ්‍යාපනයට බාධා

අඩුපාඩුකම් හේතුවෙන් දුන්ගොල්ල ප්‍රාථමිකයේ සිසුන්ගේ අධ්‍යාපනයට බාධා

by sachintha
May 24, 2024 3:18 am 0 comment

පාසලටම සිටින්නේ ගුරුවරු දෙන්නයි

අලි ගහන මාර්ගයේ පාසලට ඒමත් අනතුරුදායකයි

දිවයිනේ සෙසු පළාත්වල පාසල් දරුවන් භුක්ති විඳින සැප සම්පත් පහසුකම් භුක්ති විදීමට වරම් නොමැති පාසල් දරුවන් පිරිසක් හසලක, දුන්ගොල්ල ප්‍රාථමික විද්‍යාලයේ අධ්‍යාපනය හදාරන අතර, ප්‍රමාණවත් ගුරුවරුන් සංඛ්‍යාවක් පාසලේ නොමැතිකමින් පාසලේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට බාධා එල්ල වී ඇති බව එම දරුවන්ගේ මවුපියෝ සඳහන් කරති.

මිනිපේ අධ්‍යාපන කොට්ඨාසයේ දුෂ්කර ප්‍රදේශවල පිහිටි පාසල් අතරට ඇතුළත් වී තිබෙන මෙම පාසලේ පළමු වසරේ සිට පහ වසර දක්වා පංති පැවැත්වෙයි. පාසලේ දරුවන් 38 දෙනකු අධ්‍යාපනය හැදෑරුවත් එම දරුවන්ගේ ඉගැන්වීම් කටයුතුවලට පාසලේ සිටිනුයේ විදුහල්පතිවරයා සමඟ තවත් එක් ගුරුවරයෙකි. හසලක නගරයේ සිට කිලෝමීටර් 20ක පමණ දුරින් හුදෙකලා වූ වනගත ගම්මානයක පිහිටි මෙම විද්‍යාලයේ විදුහල්පතිවරයා රාජකාරී අවශ්‍යතාවයකට හසලක කොට්ඨාස කාර්යාලයට හෝ වෙනත් කටයුත්තකට පාසලෙන් බැහැර ගිය විට හෝ ගුරුවරයකු නිවාඩු ලබා ගත් විටක දී පළමු වසරේ සිට පහ වසර දක්වාම අකුරු කරන්නට සිදුවන්නේ එක් ගුරුවරයකුටය.

මෙම ගුරුවරුන් දෙදෙනාම පාසලට පැමිණෙනුයේ දුර බැහැර ප්‍රදේශවල සිටය. මොවුන්ට පාසල පැමිණීමට සිදුව ඇත්තේ වල් අලියා නිතර ගැවසෙන වනගත මාර්ගයක් ඔස්සේය. ඇතැම් දිනවල පෙරවරුවේ පාසලට යතුරු පැදියෙන් පැමිණෙන විට තනි අලියා හෝ අලි රංචුවක් මාර්ගය හරහා හෝ මාර්ගය ආසන්නයේ සිටි විට ගුරුවරයාට සිදු වන්නේ පාසලට වාර්තා කිරීම පසෙක තබා පෙරලා හසලක කාර්යාලයට ගොස් එහි වාර්තා කිරීමටය. එවැනි දිනවල මේ දරුවන්ගේ ආරක්ෂාවට සිටිනුයේ අනධ්‍යන කාර්ය මණ්ඩලයේ කාන්තාවක් පමණි.

උඩදුම්බර බස් ඩිපෝව මඟින් හසලක සිට මෙම ගම දක්වා බස් රථයක් මෙයට පෙර ධාවනය කළද පමුණුපුර ගම්මානයේ සිට ගම දක්වා ඇති කිලෝමීටර් තුනහමාරක පමණ වනාන්තරය මැදින් ඇති මාර්ග කොටසේ පවතින අබලන් තත්ත්වය හේතුවෙන් එම රථය ද ධාවනයෙන් ඉවත් කර තිබේ. බස් රථය ධාවනය වන්නේ නම් එම ගුරුවරයාට අපහසුතාවයකින් තොරව පාසල කරා ගමන් කිරීමට හැකිවනු ඇත.

හසලක සමූහ

ඊ.එම්.එස්. ඒකනායක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT