Home » වයඹ ආයුර්වේද රෝහල් 10කට කාර්යභාර වෛද්‍ය නිලධාරී පත්වීම්

වයඹ ආයුර්වේද රෝහල් 10කට කාර්යභාර වෛද්‍ය නිලධාරී පත්වීම්

by sachintha
May 24, 2024 1:30 am 0 comment

වයඹ පළාතේ ආයුර්වේද රෝහල් දහයක මෙතෙක් පුරප්පාඩුව පැවැති කාර්යභාර වෛද්‍ය නිලධාරීවරුන් වෙත පත්වීම් ලිපි ප්‍රදානය කිරීමක් ඊයේ (22) වයඹ පළාත් ආණ්ඩුකාර නසීර් අහමඩ් මහතා අතින් වයඹ පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී සිදු කෙරිණ.

අදාළ තනතුරු පුරප්පාඩුව හේතුවෙන් දීර්ඝ කාලයක් තිස්සේ එම රෝහල් පරිපාලනයේදී රෝහල් කාර්ය මණ්ඩලයට මෙන්ම රෝගීන්ට ද දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදුව තිබිණි. මේ අනුව එම රෝහල්වල තාවකාලික කාර්යභාර නිලධාරීන් වශයෙන් දීර්ඝ කාලයක්

තිස්සේ සේවය කළ අයට මෙම පත්වීම් ප්‍රදානය කෙරුණු අතර, ඔවුන්ගේ සේවා අත්දැකීම් හා සුදුසුකම් පරීක්ෂා කිරීමෙන් අනතුරුව මෙම පත්වීම් ලබා දීම සිදු කළ බව වයඹ පළාත් ප්‍රධාන ලේකම් දීපිකා කේ. ගුණරත්න මහත්මිය මෙහිදී පැවසුවාය.

ඒ අනුව කුරුණැගල ආයුර්වේද රෝහලට අධ්‍යක්ෂවරයකු හා අනෙකුත් රෝහල්වලට කාර්යභාර වෛද්‍ය නිලධාරීන් ලෙස මෙම පත්වීම් සිදු කෙරිණි.

මෙම අවස්ථාවට වයඹ පළාත් ප්‍රධාන ලේකම් දීපිකා කේ. ගුණරත්න, වයඹ පළාත් සෞඛ්‍යය හා දේශීය වෛද්‍ය, සමාජ සුබසාධන, පරිවාස, ළමාරක්ෂක හා කාන්තා කටයුතු අමාත්‍යාංශයේ ලේකම් නයනා දසනායක, පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් ඊ.එම්.එස්. ඒකනායක යන මහත්ම මහත්මීහු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

කුරුණෑගල – සුනිල් එස්. පැල්ලන්දෙණිය

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT