බදුල්ල දිස්ත්‍රික්කයට වාර්ෂිකව සිදු වන ස්වාභාවික උපද්‍රව හා දේශගුණික විපර්යාස හේතුවෙන් රාජ්‍ය දේපොළ හා යටිතල පහසුකම්වලට 2024 වර්ෂය වන විට සිදුව ඇති අහිමිවීම් හා හානිවීම්වල දළ වටිනාකම රුපියල් බිලියන 31කට අධික බව බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකාර ඒකකය වාර්තාවක් නිකුත් කරමින් සඳහන් කරයි.
මධ්‍යම කඳුකරයේ නැඟෙනහිර බෑවුමේ පිහිටා ඇති බදුල්ල දිස්ත්‍රික්කයට මූලික වශයෙන් ජලය ලැබීම සිදු වන්නේ ඊසාන දිග වර්ෂාවෙන් වුවත් ඊට අමතරව නිරිතදිග හා අන්තර් මෝසම් වර්ෂාවලිනුත් ජලය ලැබීම සිදු වන බවත්, දිස්ත්‍රික්කය පිහිටා ඇති භූමියේ කඳුකරමය ස්වරූපය හා ඇද හැලෙන අධික වැසි යන සාධක ද්විත්වයේ බලපෑමට අමතරව අවිධිමත් භූමි පරිහරණය හේතුවෙන් විශේෂයෙන්ම වැසි සමයේදි සිදු වන ආපදා ප්‍රමාණය වාර්ෂිකව ඉහළ යෑමේ ප්‍රවණතාවක් ද දක්නට ලැබේ. දිස්ත්‍රික්කය තුළ පවතින ඉහත පසුබිමට අමතරව කාලීනව සිදු වන දේශගුණික විපර්යාසවල බලපෑම ආපදා තත්ත්වයන් තවදුරටත් වැඩීමට දායක වන බවද පෙනී යන කරුණක් වන අතර, විශේෂයෙන්ම වෙනදා පැවැති කාලීන වැසි රටා උඩු යටිකුරු කරමින් මිලිලීටර් 100 හා ඊට වඩා වැසි පුරෝකථනය කිරීමට නොහැකි ආකාරයට කෙටි කාලයක් තුළ ප්‍රාදේශීය මට්ටමින් කඩා වැටීම හේතුවෙන් දිස්ත්‍රික්කයේ ජනතාවගේ එදිනෙදා ජන ජීවිතයට බලපෑම් ඇති කරන ප්‍රබලතාවය හා වේගය වැඩි කරන බව තහවුරු වී පවතින බවත්, මෙම තත්ත්වය ඉදිරි වසරවලදී වඩාත් භයානක විය හැකි බවට උපකල්පනය කළ හැකි බවත් එම වාර්තාවේ සඳහන්ය.
ලංකාවේ ප්‍රධානතම සංචාරක පුරවරයක් ලෙස ප්‍රසිද්ධ ඇල්ල නගරයට පිවිසීමට ඇති ප්‍රධාන මාර්ගය මේ වන විට දැඩි ආපදාවක පවතින අතර, ඒ සඳහා ඇති එකම විකල්පය වන දොඩම්ගොල්ල මාර්ගය සංවර්ධනය නොකළහොත් ඇල්ල සංචාරක පුරවරයට ඉදිරියේදී බරපතළ ආර්ථික හානි සිදු විය හැකි බවට ද ඔවුන් අනතුරු අඟවයි.
ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයේ නිරීක්ෂණයන්ට අනුව මේ වන විට දිස්ත්‍රික්කය තුළ අවදානම් ලෙසට හඳුනාගෙන ඇති පවුල් සංඛ්‍යාව 4,796කි. ඉන් නැවත පදිංචි කිරීමේ කටයුතු සිදු කර ඇත්තේ පවුල් 883ක පමණි. පවුල් 162ක් සඳහා නිවාස ඉදිකර අවසන්ව ඇති බවත්, තවත් පවුල් 170ක් සඳහා නිවාස ඉදිකිරීමට රුපියල් මිලියන 82ක ප්‍රතිපාදන අවශ්‍යතාවක් ද පවතින අතර ඔවුන් ද ඇතුළත්ව ඉතිරි පවුල් 3,913ක් තවමත් ජීවිත අවදානම සහිතව අධි අවදානම් කලාපයන් තුළ වසර 7ක් පමණ කාලයක් ජීවත් වන බවත් ආපදා කළමනාකරණ ඒකකය සඳහන් කරයි .
බදුල්ල – නිශාන්ත අබේගුණවර්ධන