Home » වෙසක් සැමරුමට සඟරුවන දුන් නායකත්වයට කෘතවේදීත්වය පුද කරනවා – අගමැති දිනේෂ් ගුණවර්ධන

වෙසක් සැමරුමට සඟරුවන දුන් නායකත්වයට කෘතවේදීත්වය පුද කරනවා – අගමැති දිනේෂ් ගුණවර්ධන

by sachintha
May 24, 2024 2:36 am 0 comment

වෙසක් සැමරුම වෙනුවෙන් පරම්පරාවෙන් පරම්පරාවට මහ සඟරුවන දුන් නායකත්වයට රජයේ ගෞරවය, බැඳියාව සහ කෘතවේදීත්වය පුද කර සිටින බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පැවැසීය.

වෙසක් උත්සවය නිමිති කරගෙන කොළඹ, ධර්මායතනාධිපති ඇල්ලේ ගුණවංශ හිමියන්ගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක කළ ත්‍රිරෝද රථ දහසක බෞද්ධ කොඩි සවි කිරීම අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙක් කොළඹ, බෞද්ධාලෝක මාවතේදී පෙරේදා (22) ආරම්භ කෙරුණු අතර, එහිදී අගමැතිවරයා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැතිවරයා මෙලෙස ද කීවේය.

“බුදුරජාණන් වහන්සේ ගෙන ගිය මැදුම් පිළිවෙත අද ලොවට දායාද කළ හැකි උතුම්ම දායාදය ලෙස වෙසක් පොහොය දිනයේදී වෙසක් වැඩසටහන්වලදී සිහිපත් කර ඒ වෙනුවෙන් කැප වෙමු.

ඇල්ලේ ගුණවංශ හිමියන්ගේ මඟපෙන්වීමෙන් ධර්මායතන විහාරස්ථානය බෞද්ධ ධජ දහස් ගණනක් සංචාරය කරන වාහනවලට පරිත්‍යාග කරමින් රට පුරා මෙන්ම කොළඹ නගරය බෞද්ධ කොඩියෙන් ඒකාලෝක කරනවා. බෞද්ධ ජනතාවගේ කේන්ද්‍රස්ථානය ලෙස සිරිලක අඛණ්ඩව පවත්වාගෙන යන වෙසක් සැමරුම වෙනුවෙන් පරම්පරාවෙන් පරම්පරාවට මහා සඟරුවන දුන් නායකත්වයට අද දින යළිත් අපේ රජය වෙනුවෙන් බැඳියාව, ගෞරවය, කෘතවේදීත්වය පමණක් නොව ඒ සඳහා කටයුතු කිරීමට තිබෙන වගකීම ප්‍රකාශ කරනවා.

ධර්මායතන විහාරස්ථානයට කටයුතු ඉදිරියට ගෙන යෑමට හැකි වන විශේෂ වැඩපිළිවෙළක් සහ අවශ්‍ය පහසුකම් රජය විසින් සකසා දී තිබෙනවා. කුඩා දරුවෙක් වුවත් පොඩි වෙසක් කූඩුවක් බුදු තෙමඟුල වෙනුවෙන් හදන්නේ කොයිතරම් බොදු බැතියක් හදවතේ තියාගෙනද? රට පුරා මුළු ජාතියම අවදි වෙලා බුදුරජාණන් වහන්සේගේ ධර්මය රටට සහ ලොවට දායාද කිරීමේ උතුම් අවස්ථාවකට අපි පිවිසෙනවා.”

ඇල්ලේ ගුණවංශ හිමි

“වෙසක් කියන්නේ බෞද්ධයන්ගේ ලොකුම උත්සවය. වෙසක් උත්සවයට විරුද්ධව රට ඇතුළේ එදත් අදත් කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වුණා. මේවා බොරු වැඩ, මොකටද ඕවා හදන්නේ, ගෙයක් හදලා දුන්නා නම් ඉවරයිනේ වගේ විවිධ මත ඇතැම් පිරිස් එදා ඉඳලා සමාජය තුළ පතුරවා හරිනවා. රාජ්‍ය නොවන සංවිධාන කියලා පිරිසක් ඉන්නවා. අම්මට තාත්තට වඳින්න එපා වගේ දේවල් ප්‍රචාරය කරන පිරිසක් දැන් බිහි වෙලා ඉන්නවා.

වෙසක් උත්සවය ආරක්ෂා කර ගැනීමට අවුරුදු විස්සක් විසි පහක් තිස්සේ මම ගත් උත්සාහය තවමත් අත්හැරියේ නෑ. ඒ වගේම සාර්ථක වෙලා තියෙනවා. අග්‍රාමාත්‍යතුමා මේ වෙසක් උත්සවය සාර්ථක කර ගැනීමට විශාල ශක්තියක් දුන්නා. අද රාජ්‍ය යන්ත්‍රණය මලකඩ කාලා. ශක්තිමත් නෑ. එය ශක්තිමත් කිරීමට මහජනතාව අපි සැවොම සමඟ ඉදිරියට ආ යුතුයි.”

මහා සංඝරත්නය, ඇමැති ටිරාන් අලස්, රාජ්‍ය ඇමැති සිසිර ජයකොඩි, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් ප්‍රදීප් යසරත්න, කොළඹ දිසාපති කේ. ජී. විජේසිරි, පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහත්වරුන් ඇතුළු ත්‍රිරෝද රථ හිමිකරුවෝ මේ අවස්ථාවට එක්වූහ.

නුවන් කොඩිකාර සහ මැද කොළඹ සමූහ – ආරියරත්න ගනේගොඩ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT