ප්‍රවීණ රංගනවේදී ආචාර්ය රවින්ද්‍ර රන්දෙණියගේ සිනමා ජීවිතයට වසර 50ක් සපිරීම නිමිත්තෙන් උපහාර උලෙළක් ‘රවී 50 වසරක ආත්ම භාෂණය’ නමින් ජුනි මස 05 වැනි දින සවස 6.30ට කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්වේ. රවින්ද්‍ර රන්දෙණියගේ ජීවිතයේ සුවිශේෂී සන්ධිස්ථාන ඇසුරින් නිර්මාණය වන අලංකාර ප්‍රාසංගික ආකාරයෙන් ඉදිරිපත් වන මෙම උලෙළට සමගාමීව ඔහු පිළිබඳව රචනා වුණු ග්රන්ථ ද්විත්වයක්ද එළිදකී. ප්‍රවීණ සිනමා විචාරක ගාමිණී වේරගම විසින් විරචිත රවින්ද්‍ර රන්දෙණිය චරිතාපදාන, ග්‍රන්ථය සිංහල බසින්ද උදිත දේවප්‍රිය ඉංග්‍රීසි භාෂාවෙන් රචිත
‘Ravi’ ග්‍රන්ථය ද එළිදකී. සිංහල භාෂාවෙන් රචිත ග්‍රන්ථය සරසවි ප්රකාශනයක් ලෙසින්ද, ඉංග්‍රීසි භාෂාවෙන් රචිත ග්‍රන්ථය සුරස ප්රකාශනයකි. වර්ෂ 1974 දී තිරගත වූ තරංගා සිනමාපටයෙන් සිනමාවට එක්වන රවින්ද්‍ර රන්දෙණිය නම් වූ මේ කෘතහස්ත රංගන ශිල්පියා විශිෂ්ට රංගන පෞරුෂයකට හිමිකම් කියමින් තමාට රඟපාන්නට ලැබුණු සෑම චරිතයකටම උපරිමයෙන්ම සාධාරණයක් ඉටු කළ අතර පසුගිය දශක පහක් පුරා ශ්‍රී ලාංකේය සිනමා ප්‍රේක්ෂක හදවත් තුළ සදා නොමැකෙන මතක සටහන් රැසක් තබන්නට සමත් විය.
ඔහු විසින් දුහුළු මලක්, පොඩි මල්ලි, වීර පුරන්අප්පු, ජනේලය, මායා, ආරාධනා, දඩයම, මංගල තෑග්ග, සාගර ජලය, සෙයිලම, සිරිමැඳුර, අනන්ත රාත්‍රිය ඇතුළු සිනමාපට 100කට වඩා වැඩි ප්‍රමාණයකට තම රංගන ප්‍රතිභාව මුසු කරමින් ප්‍රේක්ෂකයා සිනමා ශාලාව තුළට කැඳවා ගනිමින් සිංහල සිනමා කර්මාන්තය ඉහළට ඔසවා තැබීමට විශාල දායකත්වයක් ලබා දුන්නේය. තම චරිතය පමණක් නොව තමා සමඟ රංගනයේ යෙදෙන සහෝදර ශිල්පී ශිල්පිනියන්ගේ චරිත ද ඉස්මතු වන්නට උපරිම සහායක් ලබා දෙමින් සිනමා රංගනය කොතරම් සංකීර්ණ හා බැරෑරුම් කාර්යයක් ද යන්න සෙසු රංගන ශිල්පීන්ට ද අවබෝධ වන අයුරින් ඉතා ගෞරවාන්විත ගමන් මඟක මේ සුන්දර කලාකරුවා පැමිණියේය. ශ්‍රී ලංකාව තුළ පැවති සරසවිය, ජනාධිපති, ස්වර්ණ සංඛ, ඕ.සී.අයි.සී සහ විචාරක සම්මාන උලෙළ පහළොස් වතාවකට වැඩි අවස්ථා ගණනාවකදී හොඳම නළුවාගේ සම්මානයෙන් පිදුම් ලැබීය. ජීවිතයට එක් වතාවක් පමණක් ලැබෙන ‘Life Time Achievement Awards’ සම්මාන හතකින්ද හොඳම සහාය නළුවා හා ඇගැයීම් සම්මාන රැසකින්ද පිදුම් ලබා ඇත. ඔහු සිනමාව උදෙසා කළ සේවාව වෙනුවෙන් සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයෙන් පිරිනැමෙන දර්ශන සූරී සම්මාන උපාධියෙන්ද පිදුම් ලබා ඇත. මීට අමතරව ජාත්‍යන්තර සිනමාපට රැසකට තම රංගන දායකත්වයට ලබා දුන් මේ ප්‍රතිභා පූර්ණ රංගන ශිල්පියා ‘Street Child (ප්‍රධාන චරිතය) Mother Teresa, Jungle Heat, Sandokan ‘ද හා තිරගත වීමට නියමිත Distant Tear Drop සිනමාපටයේ ප්‍රධාන චරිතය ඇතුළු සිනමාපට රැසකට රංගන දායකත්වය ලබා දී ඇත.
දශක පහක් පුරාවට ඔහු ශ්‍රී ලාංකේය සිනමාව උදෙසා කළ සේවාව අගය කිරීම වෙනුවෙන් මෙම උලෙළ පැවැත්වෙන අතර, සිනමා කර්මාන්තයට සම්බන්ධ සියලු අංශයන් නියෝජනය කරමින් ඔහුගේ සමකාලීනයන් හා සම්භාවනීය ආරාධිතයන් රැසකගේ, රසික රසිකාවියන්ගේ ප්‍රධානත්වයෙන් මෙම උලෙළ පැවැත්වෙනු ඇත.
නිශ්ශංක විජේරත්න