ප්‍රතිභා පූර්ණ ප්‍රවීණ රංගන ශිල්පී සොමී රත්නායක
සිංහල සංස්කෘතික ආයතනයේ (සුදර්ශි) සිනමා අනුමණ්ඩලය මඟින් සංවිධානය කෙරෙන, ‘තරු විමනක රන් සලකුණ’ සොමී රත්නායක සිනමා ප්‍රත්‍යාවලෝකනය සහ උපහාර උලෙළ 27 වැනි දින එහි ප්‍රධාන ශාලාවේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. ඒ අනුව, එදින පෙ.ව 10ට සුරබිදෙන” ප.ව. 2ට සුද්දිලාගේ කතාව සුදර්ශී ශාලාවේදී තිරගත කෙරේ. එමෙන්ම, සවස 05ට ඔහු වෙනුවෙන් උපහාර උත්සවය පවත්වන අතර, ප.ව. 7ට උතුමාණෙනි සිනමාපටය ප්‍රදර්ශනය කෙරෙනු ඇත. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
‘සොමී රත්නායක, මෙරට සිනමා ප්‍රේක්ෂකාගාරය තුළ අතිශයින්ම ජනප්‍රිය සහ කාර්යබහුලම නළුවෙකු ලෙසින් සිටියදී ඔහු සිනමාවෙන් තාවකාලිකව සමුගත්තේය. එය ඔහුගේ පෞද්ගලික දිවියේ හේතු කාරණා සම්බන්ධයෙන් ගත් තීන්දුවක් වුවද, එයින් අපමණ පාඩු සිදු වූයේ මෙරට සිනමාවටය. මේ දක්වා ඔහු රංගනයේ නියුතු වූවා නම් තව කොතෙක් නම් චරිත නිරූපණයන් ඔහු අපට ඉතිරි කරයිද? මේ වන විට වසර ගණනාවක් මෙරට සිනමාවෙන් ඈත්වී දුරු රටක වෙසෙන ඔහු පසුගියදා නැවත ශ්‍රී ලංකාවට පැමිණ තිබුණේ කෙටි නිවාඩුවක් සඳහාය. අපි දැන් ඔහුගේ හඬින්ම එහි තතු දැන ගනිමු.
‘මම මේ පාර ලංකාවට ආවේ නිවාඩුවක් ගත කරන්න. ඒ වගේම මගේ පෞද්ගලික වැඩ කීපයක්ම තිබුණා කර ගන්න. ඒ වෙනුවෙන් තමයි මේ පාර ලංකාවට ආවේ. මේ වැඩ කටයුතු ටික කර ගන්නකොට මට නිවාඩුවක් ගත කරන්න කාලයක් නැතිව ගියා.
මම ලංකාවෙන් ගියේ 1995 අන්තිමට වගේ. දැන් අවුරුදු 27ක් විතර වෙනවා. ඒ ගියාට පස්සේ මම ඉස්සරවෙලාම ලංකාවට එන්නේ 2009 දි විතර. ඊට පස්සේ මට වරින්වර ලංකාවට එන්න සිද්ධ වෙනවා. 2011 දී 2012දි වගේ. අන්තිමට මම ලංකාවට ආවේ 2014දී . ඉන් පස්සේ මම ලංකාවට ආවෙම නෑ. දැන් අවුරුදු දහයකින් තමයි මම ලංකාවට ආවේ. මම 2018 දි උත්සාහයක් දැරුවා ලංකාවට එන්න. ඒත් කොවිඩ් නිසා ඒක කර ගන්න බැරිව ගියා. ඊට පස්සේ හැම අතින්ම කරදර වුණානේ. දැන් ඉතින් තත්ත්වය ටිකක් හොඳ නිසා ඇවිත් යන්න ආවා. ඒත් මේ පාර මම තනියම ආවේ. මගේ බිරිඳ හෝ දරුවන් ආවේ නෑ. ඒ සියලු දෙනාම එක්ක අවුරුද්දේ අන්තිමට එන්න බලාපොරොත්තුවක් තිෙයනවා. ඉතින්, ආපස්සට හැරිලා බලද්දී මට හිතෙන්නේ, මම ලංකාවෙන් 96 දී යනකොට ඒ කාලේ ලංකාවේ හිටිය වැඩ වැඩිම නළුවා. මම සිනමාවෙත්, වේදිකාවෙත් රූපවාහිනියෙත් විවිධ වැඩ ගොඩක ඒ දවස්වල නියැළෙමින් හිටියා. මම ගියාට පස්සෙත් හුඟ දෙනෙක් ඇවිත් තිබුණා මාව මුණ ගැහෙන්න විවිධ නිර්මාණ සඳහා දායක කර ගන්න. ඒත්, ඒ වෙලාවේ අපේ රටේ තිබුණ තත්ත්වය නිසා මම පෙලඹුණා රට දාලා යන්න. යුද්ධය නිසා සිනමාවේ ඇති වුණ කඩා වැටීමත් මේකට දැඩි විදිහට බලපෑවා. සිනමාව ගොඩ ගන්න බැරි තැනකටම වැටුණා. හුඟක් නිෂ්පාදකවරු ආයෝජනය කරන්න බය වුණා. කීපදෙෙනක් සිනමාවේ හිටියත් ඒවා කොහොම හරි කරන චිත්‍රපට බවට පත්වුණා. මම වෘත්තීය නළුවෙක් නිසා වෘත්තියක් විදිහට මේක කරන්න බැරි තත්ත්වයක් උදා වුණා. මම නළුවෙක් විදියට හොඳ නිර්මාණවලට දායක වෙලා ඉදිරි ගමනක් යන්න බලාපොරොත්තුවක් තිබුණත් අර වකවානුවේ ඒකට ඉඩක් තිබුණේ නෑ. අනිත් පැත්තෙන් මට දරුවෝ දෙන්නෙක් ඉන්නවානේ. මම ඒ අයගේ අනාගතය ගැනත් බලන්න ඕනනේ. එතැනදි තමයි මම ඒ දැඩි තීන්දුව ගත්තේ.
හැබැයි, මම යන බව වුණත් වැඩි දෙනෙකුට කිව්වෙ නැහැ. මගේ සමීප හිතවතුන් කිහිප දෙනෙකුට විතරයි කිව්වෙත්. නමුත් පවුලක් හැටියට හිතලා බලනකොට මට ඒ තීන්දුව ගන්න සිද්ධ වුණා.
නමුත් මම 2012 ලංකාවට ආවට පස්සේ චිත්‍රපට දෙකකට විතර සම්බන්ධ වුණා. ඒ ආරාධනාවක් අනුව. ඒත්, වෘත්තීයමය වශයෙන් ආයෙත් රඟපාන්න වුණේ නෑ. ඊට පස්සේ මට ආයෙත් කල්පනා වුණා, මොකටද තවදුරටත් මේ කාලය මේ වෙනුවෙන් කැප කරන්නේ කියලා. නමුත් නළුවා කියන එක මගේ හිතින් කවදාවත් යන්නේ නෑ. මට තාමත් හිතෙන්නේ මට පුළුවන් කියන එක. මිනිස්සු වයසට යනවා. වයසට යනකොට හැමදෙනාටම එන මූලික ගැටලු තිෙයනවා. කායික වශයෙන් මානසික වශයෙන්. ඒ හිටපු තැනම මම ඉන්නවා කියලා මට හිතෙනවා. ඒ නිසා ආපහු රඟපෑමට ආවොත් මට එහෙම කරදරයක් වෙයි කියලා මට හිතෙන්නෙ නෑ. ඒ අනුව මම කල්පනා කරනවා මොකක් හෝ හොඳ නිර්මාණයකට සම්බන්ධ වුණොත් හොඳයි නේද කියලා.
චරිත විදිහට ගත්තොත් මම තාමත් ‘උතුමාණෙනි’ චිත්‍රපටයේ මගේ රංගනයට කැමැතියි. ඒ තරම් අත්දැකීමක් නැති කාලෙක මම කරපු නැවුම් රඟපැමක් ඒක. ඒක ආපහු අල්ලගන්න අමාරුයි. ඒ වගේම සුරබිදෙන චිත්‍රපටයේ කරපු රඟපෑම. අනිත් පැත්තෙන් ‘සුද්දිලාගේ කතාව’ චිත්‍රපටයේ කරපු රඟපෑම. මේ ඊයේ පෙරේදා දවසක මම සුද්දිලාගේ කතාව චිත්‍රපටය නැරඹුවා. මට හිතුණා ‘ෂා මම හරි ෂෝක්නේ’ කියලා. මම හොයනවා මගෙන් මොනවද අඩුපාඩු වුණේ කියලා. මට මාව දැකීමත් සතුටක්. ඒක ඉතින් මම මැරෙනකම්ම තියෙයි. ඒ වගේම දොළොස්මහේ පහන චිත්‍රපටය, දඩයම, පූජා වගේ චිත්‍රපට තව තිෙයනවා. පූජා වගේ චිත්‍රපටයක් ගැන හිතනකොට මට හිතෙනවා ඒ චරිතයට මම තව සූදානම් වුණා නම් කියලා. මොකද ඒ කාලයේ මම එකම කාලයේ චිත්‍රපට 4ක රඟපානවා. එතකොට ඉතින් කොන්ටිනියුටි එක පිළිබඳ එහෙම වැඩියෙන් හිතන්න ඕනෑ.
ඒ වගේම, ඒ කාලයේ අපට තිබුණේ නෑනේ රංගන පාසල්. මට තිබුණු එකම අභ්‍යාසය තමයි මම වේදිකාවේ කළ රංගනය. වේදිකාවෙන් මට ලොකු පුහුණුවක් ලැබුණා. ඒවායින් සිනමා රංගනයටත් යම් යම් දේවල් ගන්න පුළුවන් වුණා. ඊට අමතරව සිනමා රංගනය පිළිබඳ අපට ගැටලුවක් තිබුණා. ඒ සඳහා අපි කරපු එකම දේ තමයි චිත්‍රපට නැරඹීම.
තාමත් මට ආරාධනා ලැබෙන්නේ ප්‍රධාන චරිතවලට. මගේ හිතේ තිෙයනවා මම චිත්‍රපටයක් කළොත් හොඳයි කියලා. හුඟාක් දක්ෂ තරුණ අධ්‍යක්ෂවරු ලංකාවේ ඉන්නවා. කොහොමත් රංගනය පිළිබඳ ඇල්මක් මගේ හිතේ තිෙයනවා. අධ්‍යක්ෂණය පැත්තට යොමු වෙන්න නම් මගේ බලාපොරොත්තුවක් නෑ. නමුත් මගේ හිතේ තියෙනවා චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්න නම්…’
හේමාලි විජේරත්න
ඡායාරූප
නිශ්ශංක විජේරත්න