“ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිපදිනා තාක් කාලයක් ලෝකය රහතන් වහන්සේලාගෙන් හිස් වන්නේ නැත.” මේ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පාන්නට ආසන්නව කුසිනාරා නුවර මල්ල රජදරුවන්ගේ උපවත්තන සල් උයනේ වැඩ සිටියදී සුභද්ද පරිබ්‍රාජකයාට කළ දේශනාවයි.
භාග්‍යවතුන් වහන්සේගේ මංගල ධර්ම දේශනාව වන්නේ දම්සක් පැවතුම් සූත්‍රය යි. පිරිනිවන් පාන්නට ආසන්නව වැඩ සිටියදී කළ දේශනාවන් ඇතුළත් වන අවසාන සූත්‍ර දේශනාව වන්නේ මහා පරිනිබ්බාන සූත්‍රය යි. මේ දම්සක් පැවතුම් සූත්‍රයේ සිට මහා පරිනිබ්බාන සූත්‍රය දක්වා ඇති සියලුම ධර්ම දේශනාවලදී ලෝ වැසියන්ට පිළිපදින්නට දේශනා කර තිබෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය යි.
මේ ලෝකයේ සියල්ලම හට ගන්නේ හේතූන්ගෙන් වන අතර, ලොව මවන්නෙක්, නිර්මාණය කරන්නෙක් හෝ පාලනය කරන්නෙක් නොමැත. කොතැනක ඉපදුණත් ඒ සියලුම තැන්වල උපදින සියලුම අයගේ ආයුෂ, ආහාර පාන, ඉදුම් හිටුම්, භවභෝග සම්පත්, යහළු හිත මිතුරන් ආදී ජීවත් වන්නට අවශ්‍ය සියල්ලම නිසි විදිහට ලැබෙන්නට නම් ලැබෙන හේතු ක්‍රමයක් තිබිය යුතු ය.
මිනිසුන් අතර උපදින සියල්ලෝම මග ඵල ලබන්නේ නැත. අහේතුක සුගති, ද්විහේතුක, ත්‍රිහේතුක ලෙස මිනිසුන් අතර සිටින වර්ග තුනක පිරිසගෙන් මග ඵල ලැබිය හැක්කේ ද ත්‍රිහේතුක අයට පමණි. ත්‍රිහේතුක වූ පමණින්ම මග ඵල ධ්‍යාන නොලැබෙන අතර ඒ සඳහා ද හේතු සම්පත් අවශ්‍ය වේ. මේ ශරීරය, සිත සහ චෛතසික ආදිය සකස් වෙන්නේ හේතූන්ගෙන්ම වන අතර ඒ හේතු අතර ප්‍රධානතම හේතුව වන්නේ කර්මය යි.
මේ හේතුඵල ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වය නිසාම භාග්‍යවතුන් වහන්සේ සියලුම දෙවියන් සහිත මිනිසුන්ට පිළිපදින්නට දේශනා කළේ ආර්ය අෂ්ටාංගික මාර්ගය යි. බුදු දහමේ පිළිපදින්නට, ජීවත් වන්නට උගන්වන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය යි. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තිබෙන සම්මා කම්මන්ත, සම්මා වාචා, සම්මා ආජීව යන අංග තුන සීලස්ඛන්ධය වේ. ආජීව අට්ඨමක සීලය තුළ ඇතුළත් වන්නේ සම්පූර්ණයෙන්ම මේ සීලස්ඛන්ධය යි.
එහි සම්මා කම්මන්තය වන්නේ
Òතත්ථ කතමො සම්මාකම්මන්තො? පාණාතිපාතා වෙරමණී, අදින්නාදානා වෙරමණී, කාමෙසුමිච්ඡාචාරා වෙරමණී – අයං වුච්චති “සම්මාකම්මන්තො”.
තේරුම:- “එහි සම්මා කම්මන්ත නම් කුමක්ද? සතුන් මැරීමෙන් වෙන් වීම, සොරකම් කිරීමෙන් වෙන් වීම, කාමයෙහි වරදවා හැසිරීමෙන් වෙන් වී, යන මේවා සම්මා කම්මන්ත නම් වේ.”
සතුන් මැරීම, සොරකම් කිරීම, කාමයෙහි වරදවා හැසිරීම යන අකුසල ක්‍රියාවන් සිදුකිරීමට අවස්ථාව පැමිණි විට එහි ආදීනව සලකා, එයින් වැළකී ත්‍රිවිධ කාය සුචරිතයෙහි හැසිරීම සම්මා කම්මන්තය යි.
එහි සම්මා වාචා වන්නේ
“තත්ථ කතමා සම්මාවාචා? මුසාවාදා වෙරමණී, පිසුණාය වාචාය වෙරමණී, ඵරුසාය වාචාය වෙරමණී, සම්ඵප්පලාපා වෙරමණී – අයං වුච්චති “සම්මාවාචා”.
තේරුම :- “එහි සම්මා වාචා නම් කුමක්ද? බොරු කීමෙන් වෙන්වීම, කේලාම් කීමෙන් වෙන් වීම, සැරපරුෂ වචන කතා කිරීමෙන් වෙන් වීම, හිස් වචන කතා කිරීමෙන් වෙන් වීම යන මේවාට සම්මා වාචා යැයි කියනු ලැබේ.)
යම් වචනයක් කීමෙන් තමන්ටත් අනුන්ටත් විපතක් අයහපතක් නරකක් වෙනවා ද, එබඳු වචන කීමෙන් වැළකීම සම්මා වාචාව යි. එවැනි වැළකිය යුතු වාග් දුශ්චරිත හතරක් තිබේ.
මුසාවාදයෙන් වැළකීම, පිසුනාවාචා යෙන් වැළකීම, පරුෂාවාචයෙන් වැළකීම සහ සම්පප්ඵලාපයෙන් වැළකීම. මෙම වාග් දුෂ්චරිතයෙන් වැළකී, සතරාකාර වාග් සුචරිතයෙහි හැසිරීම සම්මා වාචාවයි.
එහි සම්මා ආජීවය වන්නේ
“තත්ථ කතමො සම්මාආජීවො? ඉධ අරියසාවකො මිච්ඡාආජීවං පහාය සම්මා ආජීවෙන ජීවිකං කප්පෙති අයං වුච්චති “සම්මාආජීවො”.
තේරුම :- “එහි සම්මා ආජීවය නම් කුමක්ද? සතරාකාර වාග් දුශ්චරිතයෙන් හා තුන් ආකාර කාය දුශ්චරිතයෙන් ද පස් ආකාර වැරදි වෙෙළඳාමෙනුත් වෙන්ව දැහැමි ජීවිතයක් පැවැත්වීම සම්මා ආජීවය යි.”
සියලුම ගිහි පැවිදි පින්වතුන් විසින් පිළිපැදිය යුතු මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ, සීලස්ඛන්ධයට අයත් මේ අංග තුන, කය වචනය සංවර කරගෙන ජීවිතය දෙළොව වශයෙන් සාර්ථක කර ගන්නා අනුපිළිවෙළ මෙසේ ය.
01. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
02. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
03. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
04. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
05. පිසුනාවාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
06. පරුසාවාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
07. සම්ඵප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
08. මිච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
මෙම සිල් පද සහ ඒවා කැඩෙන අංග මෙසේ ය.
01. “පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි.”
“මම සසර දුකින් මිදීම පිණිස සතුන් මැරීමෙන් වෙන්වී වාසය කිරීමේ සිල් පදය සමාදන් වෙමි.”
පාණාතිපාතා සිල් පදය කැඩෙන අංග 5 ක් තිබේ.
“පාණෝභවේ, පාණසඤ්ඤී – වධක චිත්ත, මුපක්කමෝ
තේන ජීවිතනාසෝ ච – අංගා පංච වධස්සිමේ’
i. පණ ඇති සතෙකු වීම.
ii. පණ ඇති සතෙකු බව දැනීම.
iii. මරනු කැමති සිත.
iv. මරන්නට උපක්‍රම කිරීම.
v. ඒ උපක්‍රමය නිසා මරණය සිදු වීම.
මේ අංග පහ සම්පූර්ණ වීමෙන් පාණාතිපාතා සිල් පදය කැඩේ. මෙම සිල් පදය කඩාගෙන ජීවත් වුවහොත් මේ ජීවිතයේ ඉදිරි කාලයේදී මේ හේතූන්ගෙන් හට ගන්නා නාමරූප ධර්මයන්ට ලැබෙන විපාකය නිසා, අඩු ආයුෂින් මැරෙන්නට, අත පය කැඩෙන්නට, බිඳෙන්නට, පෙර සත්ව ඝාතන කර්මයන්ගේ විපාක මතු වී විශාල කරදරවලට මුහුණ දෙන්නත් මරණින් පසුව අපා ගත වන්නත්, තව බොහෝ කරදර ඇති වන්නත් හේතු වේ.
02. “අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි.”
“මම සසර දුකින් මිදීම පිණිස අනුන් සතු නොදුන් දෙය ගැනීමෙන් වෙන්වී වාසය කිරීමේ සිල් පදය සමාදන් වෙමි.”
අදින්නාදානා සිල්පදය කැඩෙන අංග 5 ක් තිබේ.
“මනුස්ස භණ්ඩං තථා සඤ්ඤී – ථෙය්‍යචිත්ත මුපක්කමෝ
තේනේව භණ්ඩ හරණං – පංච අංගානි ථේනිතෝ’
i. අනුන් සතු වස්තුවක් වන බව.
ii. අනුන් සන්තක වස්තුවක් යැයි දන්නා බව.
iii. පැහැර ගැනීම සඳහා ඇතිවන සොර සිත.
iv. පැහැර ගැනීමට උපක්‍රම කිරීම.
v. වස්තුව පැහැර ගැනීම.
මේ අංග පහ සම්පූර්ණ වීමෙන් අදින්නාදානා ශික්ෂාපදය කැඩේ. මෙම සිල් පදය කඩාගෙන ජීවත් වුවහොත් මේ ජීවිතයේ ඉදිරි කාලයේදී ධනය භවභෝග සම්පත් අහිමි වෙන්නත්, පෙර අදින්නාදාන කර්මයන්ගේ විපාක මතු වී විශාල කරදරවලට මුහුණ දෙන්නත් මරණින් පසුව අපා ගත වන්නත්, තව බොහෝ කරදර ඇති වන්නත් හේතු වේ.
03. “කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි.”
“මම සසර දුකින් මිදීම පිණිස කාමයෙහි වරදවා හැසිරීමෙන් වැළකීමේ සිල්පදය සමාදන් වෙමි.”
කාමේසු මිච්ඡාචාරා සිල්පදය කැඩෙන අංග 04 ක් තිබේ..
‘’වත්ථුං අගමනියංච – තස්මිං සේවන මිත්තතා
පයෝගේ මග්ගේන මග්ග – පතිපත්‍යාධි වාසන
ඉති කාමස්ස චිත්තාරෝ – පයෝගේකෝසා හත්ථිකා’’
i. සේවනය නොකළ යුතු ස්ත්‍රියක හෝ පිරිමියෙකු වීම.
ii. සේවන කරන සිත ඇති වීම.
iii. සේවනයට උත්සහා කිරීම.
iv. සේවනය ඉවසීම හෙවත් එහි ආස්වාදය විඳීම.
මේ අංග සතර සම්පූර්ණ වීමෙන් කාමේසු මිච්ඡාචාරා ශික්ෂාපදය කැඩේ. මෙම සිල් පදය කඩාගෙන ජීවත් වුවහොත් මේ ජීවිතයේ ඉදිරි කාලයේදී සතුරන් බහුල වේ. බොහෝ කරදරවලට මුහුණ දීමට සිදු වේ. පෙර කාමේසු මිච්ඡාචාරා කර්මයන්ගේ විපාක මතු වී විශාල කරදරවලට මුහුණ දෙන්නත් මරණින් පසුව අපා ගත වන්නත්, තව බොහෝ කරදර ඇති වන්නත් හේතු වේ.
04. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
“මම සසර දුකින් මිදීම පිණිස බොරු කීමෙන් වැළකීමේ සිල්පදය සමාදන් වෙමි.”
මුසාවාදා සිල් පදය කැඩෙන අංග 4 ක් තිබේ.
“වත්ථුනෝ විතතඤ්චේව විසංවාදන මානසං
වායමතා පරිඤ්ඤානං මුසාවාදස්ස චාතුරෝ”
i. කියන කරුණ බොරුවක් වීම.
ii. අනුන් රවටන අදහස.
iii. ඇඟවීමේ උත්සාහය.
iv. අසන ලද තැනැත්තා කී දෙය තේරුම් ගැනීම.
මේ අංග සතර සම්පූර්ණ වීමෙන් මුසාවාදා ශික්ෂාපදය කැඩේ. මෙම සිල් පදය කඩාගෙන ජීවත් වුවහොත් මේ ජීවිතයේ ඉදිරි කාලයේදී තමන් රැවටෙන්නට හේතු සකස් වේ. පෙර මුසාවාදා කර්මයන්ගේ විපාක මතු වී විශාල කරදරවලට මුහුණ දෙන්නත් මරණින් පසුව අපාගත වන්නත්, තව බොහෝ කරදර ඇති වන්නත් හේතු වේ.
05. “පිසුනාවාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි.”
“මම සසර දුකින් මිදීම පිණිස කේලාම් කීමෙන් වැළකීමේ සිල්පදය සමාදන් වෙමි.”
පිසුනාවාචා සිල් පදය අංග කැඩෙන අංග 04 ක් තිබේ.
i. කේලාම් කියා භේද කළ යුතු අනෙකෙකු ඇති වීම.
ii. කෙනෙකු හා කෙනෙකු බිඳවන අදහස ඇති බව.
iii. බිඳවනු පිණිස යම් කිසිවක් කීම.
iv. ඇසූ තැනැත්තා විසින් එය තේරුම් ගැනීම.
මේ අංග සතර සම්පූර්ණ වීමෙන් පිසුනාවාචා ශික්ෂාපදය කැඩේ. මෙම සිල් පදය කඩාගෙන ජීවත් වුවහොත් මේ ජීවිතයේ ඉදිරි කාලයේ දී මිතුරන් අහිමි වෙන්නත් පෙර පිසුනාවාචා කර්මයන්ගේ විපාක මතු වී විශාල කරදරවලට මුහුණ දෙන්නත් මරණින් පසුව අපා ගත වන්නත්, තව බොහෝ කරදර ඇති වන්නත් හේතු වේ.
06. “පරුසාවාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි.”
“මම සසර දුකින් මිදීම පිණිස සැර පරුෂ වචන කතා කිරීමෙන් වැළකීමේ සිල්පදය සමාදන් වෙමි.”
පරුසාවාචා සිල් පදය අංග කැඩෙන අංග 03 ක් තිබේ.
i. ආක්‍රොස කටයුතු අනිකෙකු වීම.
ii. ක්‍රෝධ සහගත සිත් ඇති වීම.
iii. අනුන්ගේ සිත් රිදවන වචන කීම.
විනයෙහි අංග හතරක් තිබේ.
i. උපසම්පදා භික්ෂුවක් වීම.
ii. අනෙකෙක් නොදක්වා ඔහුටම ආක්‍රෝශ කිරීම.
iii. මට ආක්‍රෝශ කළේ යැයි ආක්‍රෝශ ලබන භික්ෂුවගේ දැනීම.
iv. අක්ෂයන් පෙරටු කොට අනුශාසනා කිරීම් ආදියක් නැති බව.
මේ අංග සතර සම්පූර්ණ වීමෙන් පරුසාවාචා ශික්ෂාපදය කැඩේ. මෙම සිල් පදය කඩාගෙන ජීවත් වුවහොත් මේ ජීවිතයේ ඉදිරි කාලයේදී නින්දා අපහාසාදිය අහන්නත් පෙර පරුසාවාචා කර්මයන්ගේ විපාක මතු වී විශාල කරදරවලට මුහුණ දෙන්නත් මරණින් පසුව අපා ගත වන්නත්, තව බොහෝ කරදර ඇති වන්නත් හේතු වේ.
07. “සම්ඵප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි.”
“මම සසර දුකින් මිදීම පිණිස ප්‍රයෝජනයක් නැති හිස් කතා කිරීමෙන් වැළකීමේ සිල්පදය සමාදන් වෙමි.”
සම්ඵප්පලාපා සිල් පදය අංග කැඩෙන අංග දෙකක් තිබේ.
i. අසන කියන දෙපක්ෂයටම වැඩක නැති, ප්‍රයෝජනයක් නැති කතා පෙරටු කොට ඇති බව.
ii. එබඳු කතාවක් කීම.
මේ අංග දෙක සම්පූර්ණ වීමෙන් සම්පප්ඵලාපා ශික්ෂාපදය කැඩේ. මෙම සිල් පදය කඩාගෙන ජීවත් වුවහොත් මේ ජීවිතයේ ඉදිරි කාලයේ දී කෙලෙස් බහුල වේ. පෙර සම්පප්ඵලාප කර්මයන්ගේ විපාක මතු වී විශාල කරදරවලට මුහුණ දෙන්නත් මරණින් පසුව අපා ගත වන්නත්, තව බොහෝ කරදර ඇති වන්නත් හේතු වේ.
08. මිච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
“මම සසර දුකින් මිදීම පිණිස වැරැදි ලෙස ජීවත් වීමෙන් වැළකීමේ සිල් පදය සමාදන් වෙමි.”
මිච්ඡා ආජීවා සිල් පදය අංග කැඩෙන අංග 03 ක් තිබේ.
i. අධර්මයෙන් ලැබූ ආහාර පාන වර්ගයක් වීම.
ii. අධර්මයෙන් යැයි දැන ගැනීම.
iii. අනුභව කිරීම.
මෙම සිල්පදය රකිමින් ධනවතෙක් බලවතෙක්ව පෙර පින්ද මතු කරගෙන, සියලුම පාරමිතාද සම්පාදනය කර ගන්නට හැකි ආර්ථික ශක්තියක් ගොඩ නගාගෙන සුවසේ ජීවත් විය යුතු ය.
මවුපිය, අඹු සැමි, දූ දරු බැඳීම, අධ්‍යාපනය, රැකියාව, සමාජය තුළ ජීවත් වීම ආදිය අකුසල් සිත් දොළස ඇති නොවන අට මහා කුසල් සිත් ඇති වන ආකාරයට සිදු කර ගැනීම සහ මුළු ජීවිතයම පින්කමක් කර ගැනීම. මංගල. සිඟාලෝවාද, ධම්මික, අණන, පංච ඉට්ඨධම්ම, ආදී සියලුම සූත්‍ර දේශනා අනුව ධනවත්ව, බලවත්ව සම්මා ආජීවය සකස් කර ගැනීම. දස පාරමිතා, දස පුණ්‍යක්‍රියා, අට මහා කුසල්, දස කුසල කර්ම පථාදිය කර ගැනීම. රහත්ව පිරිනිවන් පානා මොහොත දක්වා නාමරූප ධර්මයන් හට ගන්වන කර්මජ, චිත්තජ හේතු බලවත්ව පවත්වා ගනිමින් ජීවිතය මැනවින් කළමනාකරණය කර ගත යුතු ය.
ඉහත ආකාරයට එක් එක් සිල් පදයෙන් පදයට ඇති අකුසල විපාක වටහා ගෙන, සිල්පද කැඩෙන අංග දැනගෙන, පංචසීලය ශක්තිමත් කර ගෙන, ඉන්පසුව ආජීව අට්ඨමක සීලයට යොමු විය යුතුය. සසර නිමා කර ගන්නා තෙක් තමන්ව සුරක්ෂිත කර ගත් පුණ්‍යවන්ත සිල්වතෙක් විය යුතුය.