Wednesday, April 23, 2025
Home » එල්පීඑල් ගිවිසුම් කොන්දේසි කඩකළ දඹුල්ල-ගාල්ල අයිතිකරුවෝ එළියට

එල්පීඑල් ගිවිසුම් කොන්දේසි කඩකළ දඹුල්ල-ගාල්ල අයිතිකරුවෝ එළියට

by sachintha
May 20, 2024 2:13 am 0 comment

ශ්‍රී ලංකාවේ දැවැන්තම වෙන්දේසියේදී ක්‍රීඩකයන් මිල දී ගැනීමට රු. කෝටි 75ක්

කණ්ඩායම් පහේ ඍජු මිල දී ගැනීම්වලට තවත් කෝටි 75ක්

 

ශ්‍රී ලාංකේය මහා ක්‍රිකට් සැණකෙළිය ලෙසින් හැඳින්වෙන ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි20 තරගාවලියේ ගිවිසුම් කොන්දේසි කඩකළ දඹුල්ල කණ්ඩායමේ අයිතිකරු වර්ණජිත් තාඹුගල හා ගාල්ල කණ්ඩායමේ අයිතිකරු නයන වාසලතිලක යන මහත්වරු ඉවත් කිරීමට එල්පීඑල් සංවිධායකයෝ තීරණය කොට ඇත.

ක්‍රිකට් ආයතනය විසින් එල්පීඑල් තරගාවලිය සම්බන්ධයෙන් ලබාදුන් මාර්ගෝපදේශ පිළිපැදීමට හිටපු අයිතිකරුවන් අපොහොසත් වීම හේතුවෙන් ඔවුන් ඉවත්කොට ගාල්ල හා දඹුල්ල කණ්ඩායම්වලට නව හිමිකරුවන් දෙදෙනකු මේ වන විටත් පත්කොට තිබේ.

දඹුල්ල කණ්ඩායමේ නව හිමිකරු ලෙස අමෙරිකාවේ හා එංගලන්තයේ ව්‍යාපාරවල නිරත ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ ව්‍යාපාරිකයකු පත්ව ඇති අතර, ගාල්ල කණ්ඩායම ද විදෙස් ව්‍යාපාරිකයෙකු මිල දී ගෙන ඇත. එමෙන්ම පසුගියවර ශූරතාව දිනාගත් මහනුවර කණ්ඩායමේ හිමිකාරිත්වයේ ද වෙනසක් සිදුවීමට නියමිතව ඇති අතර, එය අද හෝ හෙට දින අවසන් කිරීමට සූදානම් වේ.

කැන්ඩි බී-ලව් ලෙසින් හැඳින්වූ මහනුවර කණ්ඩායමට වනිඳු හසරංග, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල් සහ කමිඳු මෙන්ඩිස් වැනි ප්‍රබල ක්‍රීඩකයන් ක්‍රීඩා කළ අතර, පාකිස්තානයේ ෆකාර් සමාන්, අසීප් අලි මොහොමඩ් හැරිස්, සෆ්රාස් අහමඩ් හා ඇෆ්ගනිස්තානයේ මුජිබර් උර් රහ්මාන් වැනි විදෙස් ක්‍රීඩකයන් ද එක්ව සිටියහ.

ශ්‍රී ලංකා ක්‍රීඩා ක්ෂේත්‍ර‍ෙය් දැවැන්තම වෙන්දේසිය වන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක අලෙවිය හෙට (21) කොළඹ හිල්ටන් හෝටලයේදී දහවල් 12ට ආරම්භ වේ. විදෙස් ක්‍රීඩකයන් 266ක් හා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 154ක් ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් ක්‍රීඩක වෙන්දේසියට ඉදිරිපත්කොට ඇති අතර, එක් කණ්ඩායමකට අමෙරිකානු ඩොලර් ලක්ෂ පහක (රුපියල් කෝටි 15ක් පමණ) මුදලක් වෙන්දේසියේදී වියදම් කළ හැක. කණ්ඩායම් 5ක් එල්පීඑල් තරගාවලියට සහභාගී වන බැවින් වෙන්දේසියේදී රුපියල් කෝටි 75ක මුදලක් ක්‍රීඩකයන් මිල දී ගැනීමට පමණක් හෙට දිනයේ වැය කෙරේ.

වෙන්දේසියට පෙර ක්‍රීඩකයන් සමඟ ඍජුව ගිවිසුම්ගත වීම සඳහා ද අමෙරිකානු ඩොලර් ලක්ෂ පහ බැගින් කණ්ඩායම් 5ට ලබාදී ඇති බැවින් එම ක්‍රමය මඟින්ද රුපියල් කෝටි 75ක මුදලක ක්‍රීඩකයන් මිල දී ගැනීමට වෙන් කෙරිණි. එබැවින් මෙවර අයිපීඑල් තරගාවලියේ ක්‍රීඩකයන් මිල දී ගැනීමට රුපියල් කෝටි 150ක මුදලක් වැය කිරීමට කටයුතු යොදා ඇත.

තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය සඳහා විදෙස් ක්‍රීඩකයන් 600කට වැඩි පිරිසක් ලියාපදිංචි වී තිබූ නමුත්, ඉන් ක්‍රීඩකයන් 266 දෙනකු පමණක් වෙන්දේසිය සඳහා ඉදිරිපත් කිරීමට තෝරා ගෙන ඇති අතර, දේශීය ක්‍රීඩකයන් 140කගේ නම් ලැයිස්තුවක් ක්‍රිකට් තේරීම් කමිටුව විසින් ලබා දී තිබේ. සෑම ප්‍රධාන ක්‍රීඩා සමාජයකටම ක්‍රීඩකයන් දෙදෙනකු බැගින් ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දී තිබූ බව සමන්ත දොඩන්වෙල මහතා පැවසීය.

ලියාපදිංචි වූ ක්‍රීඩකයන් අතරේ වැඩි වශයෙන් පාකිස්තානය, නවසීලන්තය, බංග්ලාදේශය, දකුණු අප්‍රිකාව, ඇෆ්ගනිස්ථානය සහ සිම්බාබ්වේ යන රටවල ක්‍රිකට් තරු ඇතුළත්ව සිටිති.

කණ්ඩායම් පහකින් සමන්විත මේ තරගාවලිය ලබන ජූලි 1 දා සිට 21 දක්වා මහනුවර පල්ලෙකැලේ, දඹුල්ල ක්‍රීඩාංගණය හා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය කේන්ද්‍ර‍ෙකාට පැවැත්වීමට කටයුතු යොදා ඇත. පසුගිය වසරේදී වනිඳු හසරංගගේ නායකත්වයෙන් යුත් බී ලව් කැන්ඩි පිල ශූරයන් බවට පත්වූ හෙයින් තරගාවලිය මහනුවරින් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.

ප්‍රින්ස් ගුණසේකර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT