Wednesday, April 23, 2025
Home » සඳරැස්ගම පුබුදු පෙර පාසලේ වහලය කඩා වැටෙන්න ඔන්න මෙන්න

සඳරැස්ගම පුබුදු පෙර පාසලේ වහලය කඩා වැටෙන්න ඔන්න මෙන්න

by sachintha
May 20, 2024 2:22 am 0 comment

දරුවන්ගේ අනාගතය ගැන සිතා ඉක්මනින් සකසා දෙන්න

අනුරාධපුර දිස්ත්‍රික්කයේ තලාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ එප්පාවල, සඳරැස්ගම පුබුදු පෙර පාසලේ වහලය කඩා වැටීමට ආසන්නයේ පවතින බැවින් තම දරුවන් තම දරුවන්ගේ ජීවිත දැඩි අවධානමකට ලක්ව පවතින බව එම පෙරපාසලේ දරුවන්ගේ මවුපියන් පවසති.

වසර 50කට පමණ ඉහතදී මහවැලි අධිකාරිය මඟින් ප්‍රදේශයේ දරුවන්ගේ පූර්ව ළමා විය සංවර්ධනය වෙනුවෙන් මෙම පෙර පාසල් ගොඩනැඟිල්ල ඉදි කර ඇති අතර, එදා සිට මේ දක්වා මෙම ගොඩනැඟිල්ලේ කිසිදු ප්‍රතිසංස්කරණයක් සිදු වී නොමැති බවට මවුපියන් පවසති.

පෙර පාසල් පාලිකාවක විසින් ප්‍රදේශයේ දරුවන් 25කට මූලික අධ්‍යාපනය මෙම පෙර පාසල තුළ ලබා දෙන්නේ ජල හා විදුලි යන මූලික පහසුකම් ද නොමැතිවයි. මෙම පෙර පාසල් ගොඩනැගිල්ලේ වහලයේ පරාල හා රීප්ප දිරාපත් වී, බිත්ති ඉරි තැළී, දොර ජනෙල් ද කැඩී බිඳී ගොස් තිබූ මෙම පෙර පාසල් ගොඩනැඟිල්ලේ මේ දිනවල ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාවත් සමඟ උළු සෙවිලි කළ වහලය කඩා වැටීමේ අවධානමකට ලක්ව ඇති බව ද ඔවුන් පෙන්වා දෙති.

මේ හේතුවෙන් දරුවන් පෙර පාසල් ගොඩනැඟිල්ල තුළ රඳවාගැනීම ද අවධානමක් වන බැවින් මවුපියන්ට දරුවන් පෙර පාසල් නොඑවා නිවෙසේ තබා ගැනීමට සිදුව ඇතැයි මවුපියෝ පවසති. එසේ සිදු කිරීම මඟින් තම දරුවන්ගේ මූලික අධ්‍යාපන කටයුතු කඩා වැටෙන බව ද මවුපියෝ පවසති.

දරුවන් පෙර පාසල තුළ රැදී සිටින මොහොතක යම් හෙයකින් වහලය කඩා වැටී විශාල අනතුරක් සිදු වූ පසු කනගාටුව ප්‍රකාශ කර වහා විසඳුම් දෙනවා වෙනුවට අවදානමක් ඇති වී ඇති මේ මොහොතේම මේ සම්බන්ධයෙන් අවධානය යොමු කර තම දරුවන්ගේ ආරක්ෂාව හා අනාගතය ගැන සිතා මෙම පෙර පාසල් ගොඩනැඟිල්ල ප්‍රතිසංස්කරණය කර දෙන ලෙස ඔවුහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

තිසර සමල් – අනුරාධපුර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT