සාදික්කා මද සහ මල් (වසාවාසි) අප රටට විදේශ විනිමය විශාල ලෙස උපයා දෙන සුළු අපනයන බෝගයකි. 2022 වසරේ අපේ රට තුළ හෙක්ටයාර් 2900ක් පමණ වපසරියක සාදික්කා වගා කර තිබුණු අතර එසේ වගාකර තිබුණු සාදික්කා අස්වැන්න මෙට්‍රික් ටොන් 476.6 විදෙස් රටවලට අපනය කර ඇත. ඒ හරහා මෙරටට ලැබුණු විදේශ විනිමය ප්‍රමාණය රුපියල් මිලියන 797.8කි.
අප රටේ සාදික්කා වගාව සම්බන්ධව කරුණු සෙවීමේදී වැඩි වශයෙන්ම සාදික්කා වගාව සිදුකරනු ලබන්නේ මහනුවර දිස්ත්‍රික්කයේ වන අතර මහනුවර දිස්ත්‍රික්කයෙනුත් වැඩිම සාදික්කා වගාකරුවන් පිරිසක් සිටින්නේ හාරිස්පත්තුව ඡන්ද බල ප්රදේශයේය. සාදික්කා වගාවේ නිරතව සිටින ගොවීන් මුහුණ දී තිබෙන ප්‍රධානම ගැටලුව වී තිබෙන්නේ පසුගිය වසරට සාපේක්ෂව සාදික්කාවල මිල විශාල ලෙස පහළ ගොස් තිබීමය. හාරිස්පත්තුව, යටිහලගල, සීවලිකන්ද ප්‍රදේශයේ සාදික්කා වගාවෙන් දිවි සරිකරගන්නා ගොවීන් පිරිසක් සමඟ පසුගිය දිනෙක කතාබහක නියළීමට අපට අවස්ථාව උදා විය.
එහිදී සාදික්කා වගාවේ නිරත ගොවීන් මුහුණ පා සිටින ගැටලු පිළිබඳව මුලින්ම අදහස් පළකළ සීවලිකන්දේ සමන්ත ස්වර්ණතිලක මහතා
සාදික්කාවලට අද නිසි මිලක් නැහැ. එම නිසා අප අමාරුවේ වැටිලා ඉන්නේ. සාදික්කා කඩන්න දවසකට රුපියල් 3000ක් විතර කුලියක් ගෙවන්න ඕනෑ. කපන්න මල් ගලවන්න ලොකු වියදමක් යනවා. මල් කිලෝවක් ගලවන්න රුපියල් 12ක් විතර යනවා. අපි බලධාරීන්ට කියන්නේ අපි පත්වෙලා ඉන්න තත්ත්වය ගැන හිතල අපිට සාධාරණයක් කරන්න කියලා. මිල පහළටම වැටිලා. ගිය පාර 1300ට ගිය මල් කිලෝවක මිල 700ට බැහැලා.
යටිහලගල ගාමිණී ශ්‍රී කාන්ත මහතා
මේ වතාවේ සාදික්කා පලදාව හොඳටම තියෙනවා. නමුත් මිලක් නැහැ. මාස තුන හතරකට ඉස්සර සාදික්කාවලට හොඳ මිලක් තිබුණා. අද මේ විදියට මිල අඩුවීම ගැන අපට හිතාගන්න බැහැ. වන සතුන්ගෙන්ද සාදික්කා වගාවට විශාල හානියක් වෙනවා. රිළව්, දඬුලේන්නු සාදික්කා ගැට කාලේම විනාශ කරනවා. මහනුවර හාරිස්පත්තුවේ තමයි වැඩිම සාදික්කා වගාව තියෙන්නේ, ඒ හරහා පවුල් දහස් ගානක් යැපෙනවා. අපි කාටවත් කරදරයක් නැතිව ජීවත් වුණා. මිල පහළ යාම අපේ ආර්ථිකයට තදින්ම බලපානවා.
හාරිස්පත්තුව හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයකු වන විජිතකුමාර නදුන්ගේ
අප රටේ සාදික්කා වගාව වැඩිපුර කරන්නේ මහනුවර දිස්ත්‍රික්කය තුළ. මහනුවරින් සියයට අසූවක්ම සාදික්කා වගා කරන්නේ හාරිස්පත්තුවේ. අද සාදික්කා වගේම කරාබුවලත් මිල පහළ වැටිලා. සමහරු ගොවියෝ කරාබු කඩන්නේ නැහැ. කැඩුම් කුලිය දීපුවාම ගොවියට ඉතිරිවෙන දෙයක් නැති නිසා එම නිසා කරාබු ගස් දරට කපල විකුණන අවස්ථාත් තිබෙනවා. රුපියල අවප්‍රමාණය වෙන්න කලින් වසාවාසි කිලෝවක් රුපියල් 7500ක් විතර මිලට තිබුණා. නමුත් දැන් දැන් 4500ක් වගේ පහළ බැහැලා. සාදික්කා මද රුපියල් 2300ක් වගේ මිලකට ගියේ. අද වන විට 1200වට ත් ගන්නේ නැහැ.
සාදික්කා කලු ඇට 1300 ත් 1500 ක් අතර මිලකට ගියා. සාදික්කා කලු ඇට රුපියල් 700ත් 750ත් අතර යන්නේ. මේ විදයට මිල පහළ ගිය නිසා ගොවියෝ අසරණ වෙලා ඉන්නේ. සාදික්කා ඇට සහ මල් වියළීමට නවීන තාක්ෂණය යොදා ගත යුතුයි. වැසි දිනවලට සාදික්කා මල් වේළාගන්න බැහැ. එහෙම වුණාම මල්ටික කුණුවෙලා විනාශ වෙලා යනවා. මේක අපරාධයක්.
රටට බරක් නොවී ඉතා අපහසුවෙන් මෙම සාදික්කා වගාව කරගෙන යන ගොවීන් ගැන මීට වඩා බලාධාරීන්ගේ අවධානය යොමු විය යුතුයි.
කටුගස්තොට සමූහ එස්.ජී. විජේරත්න