Home » ජනපති ඉන්දුනීසියාවේදී ඊලොන් මස්ක් හමුවෙයි

ජනපති ඉන්දුනීසියාවේදී ඊලොන් මස්ක් හමුවෙයි

- Starlink ජාලය ගැන සාකච්ඡා

by sachintha
May 20, 2024 3:54 am 0 comment

ඉන්දුනීසියාවේ පැවැත්වෙන 10 වැනි ලෝක ජල සමුළුවේ ඉහළ පෙළේ සැසියට සහභාගි වීමට ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලොව ප්‍රකට ව්‍යාපාරිකයකු වන ඊලොන් මස්ක් (Elon Musk) මහතා අතර හමුවක් ඊයේ (19) පැවැත්විණි. ගෝලීය “Starlink” ජාලය සමඟ ශ්‍රී ලංකාව සම්බන්ධ කිරීම සඳහා අයදුම් කිරීමේ ක්‍රියාවලිය වේගවත් කිරීමට කැපවී සිටින බව එහිදී අවධාරණය කෙරිණි.

ඉන්දුනීසියාවේ බාලි නගරයේ ගුස්ටි නුරා රායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් (Gusti Ngurah Rai International Airport) එරටට පෙරේදා (18) ළඟා වූ ජනාධිපතිවරයා, ඉන්දුනීසියානු ජනරජයේ බලශක්ති හා ඛනිජ සම්පත් අමාත්‍ය අරිෆින් තස්රිෆ් (Arifin Tasrif) ඉන්දුනීසියාවේ ශ්‍රී ලංකා තානාපති අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ සහ ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු තානාපති දේවි ගුස්ටිනා ටොබිංග් (Devi Gustina Tobing) යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිස විසින් හරසරින් පිළිගනු ලැබීය. හමුදා උත්තමාචාර පිළිගන්වමින් අභිමානවත් අයුරින් මෙම පිළිගැනීම සිදු වූ අතර සාම්ප්‍රදායික බාලි නර්තන ශිල්පීන්ගේ නර්තනයකින් ද මෙම අවස්ථාව වර්ණවත් විය. ඉන්දුනීසියානු ජනාධිපති ජෝකෝ විඩෝඩෝ (Joko Widodo) මහතාගේ ආරාධනය පරිදි ජනාධිපතිවරයා මෙම සංචාරයට එක්ව සිටියි. 10 වැනි ලෝක ජල සමුළුවේ ඉහළ පෙළේ සැසිය “සාමූහික සෞභාග්‍ය සඳහා ජලය” යන තේමාව යටතේ ඊයේ (18) සිට මැයි 20 වැනිදා දක්වා ඉන්දුනීසියාවේ බාලි නගරයේදී පැවැත්වෙන අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) සමුළුව අමතා සිය විශේෂ දේශනය ඉදිරිපත් කිරීමට නියමිතය. දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT