Home » ආචාර්ය පන්නිල ශ්‍රී ආනන්ද නාහිමියන්ට අග්ගමහා පණ්ඩිත ගෞරව උපාධිය පිරිනැමීම මහත් හරසර මධ්‍යයේ

ආචාර්ය පන්නිල ශ්‍රී ආනන්ද නාහිමියන්ට අග්ගමහා පණ්ඩිත ගෞරව උපාධිය පිරිනැමීම මහත් හරසර මධ්‍යයේ

by sachintha
May 20, 2024 2:55 am 0 comment

අත්තනගල්ල ශ්‍රී අරහන්ත රාජමහා විහාරය ඇතුළු තදානුබද්ධ විහාර ගණයේ විහාරාධිපති, අමෙරිකාවේ හූස්ටන් බෞද්ධ විහාරයේ සහ තායිවානයේ ථේරවාද බෞද්ධ මධ්‍යස්ථානයේ නිර්මාතෘ සහ අධිපති, සීනාදි සිව්කෝරළයේ ප්‍රධාන සංඝනායක, උපාධ්‍යාය, ආචාර්ය පන්නිල ශ්‍රී ආනන්ද නාහිමියන් අග්‍ගමහා පණ්ඩිත ගෞරව උපාධියෙන් පිදුම් ලැබීම නිමිත්තෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අත්තනගල්ල සිරිසඟබෝ සමාජසේවා පදනමේ මෙහෙයවීමෙන් පසුගිය දා (18) උපහාර උත්සවයක් පැවැත්විණි.

යුද හමුදාවේ සංස්කෘතික කණ්ඩායම විසින් උන් වහන්සේ වේදිකාවට වැඩම කරවාගෙන පැමිණීමෙන් පසු ආරාධිත මහානායක ස්වාමීන් වහන්සේ හා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන ප්‍රමුඛ දෙස් විදෙස් ගිහි පැවිදි සම්භාවනීයෝ කැඳවාගෙන එනු ලැබූහ. දිඹුල්කුඹුරේ විමලධර්ම නාහිමියෝ පැමිණ සිටි පිරිස පංචශීලයෙහි පිහිටුවූහ.

මේ අවස්ථාවට එක් වූ හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහත්ම මහත්මීහු අග්ගමහා පණ්ඩිත ආචාර්ය පන්නිල ශ්‍රී ආනන්ද නාහිමියන්ට උපහාර දැක්වූහ.

මියන්මාර රජය විසින් ප්‍රදානය කරන ලද අග්ගමහා පණ්ඩිත ගෞරව නාමය එරට නියෝජිතයෙක් ආචාර්ය පන්නිල අභිධාන නාහිමියන්ට පිරිනැමීය. විජිනිපත පිළිගැන්වීමේ සහ ප්‍රසාද පූජාද පැවැත්වුණු අතර, විශාරද දයාන් විතාරණ මහතා විසින් උපහාර ගීතයක්ද ගායනා කරනු ලැබීය.

මෙහිදී අනුශාසනාවක් කළ මල්වතු පාර්ශ්වයේ අනුනායක නියන්ගොඩ විජිතසිරි මහනාහිමියන් කියා සිටියේ ආචාර්ය පන්නිල ශ්‍රී ආනන්ද නාහිමියන්ගේ ශාසනික මෙහෙවරට කෘතගුණ දැක්වීමට බුරුම රජයෙන් පිරිනමන මේ ගෞරව සම්මානය ගැන ඉමහත් සතුටට පත් වන බවයි.

පන්නිල ශ්‍රී ආනන්ද නාහිමියන්ට 1956දී ශ්‍රීමත් දිවංගත එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක හිටපු අග්‍රාමාත්‍යවරයාගෙන් මෙන්ම 1960 ජූලි මහ මැතිවරණයේදී ජය ලැබූ දිවංගත සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ඇතුළු ඒ පවුලේ සියලු දෙනාගේ නිරන්තරයෙන්ම ලැබුණු බවද උන් වහන්සේ කීහ.

පන්නිල ශ්‍රී ආනන්ද නාහිමිපාණන් විසින් ගම්පහ දිස්ත්‍රික්කය වැලඳගන්නා අයුරින් සුවිශාල මෙහෙවරක් ඉටු කළ බවද කීහ.

ඒ වගේම 2021 වසරේදී ප්‍රදේශයේ දානපතියන්ගේ උපකාර ඇතිව ලක්ෂ 160ක වියදමින් ඇඳන් 20කින් සමන්විත කොවිඩ් වාට්ටුව සහ ඔක්සිජන් ටැංකි ලබාදීම හා මහජනතාවගේ සහභාගිත්වය සහිතව රුපියල් කෝටි 6 ½ක් වැනි විශාල වටිනාකමකින් යුතු CT sean යන්ත්‍රයක් රජයෙන් පිරිනැමීමට කටයුතු කිරීම, එය තැබීමට අවශ්‍ය වාට්ටු නිර්මාණය කළේත් ආනන්ද හිමියන්ගේ උපදෙසින්යැයි නියංගොඩ විජිතසිරි මහනාහිමියෝ ප්‍රකාශ කළහ. දිස්ත්‍රික්කය තුළ පාසල්වලට සිසු සිසුවියන්ගේ අවශ්‍යතා අනුව මේ වන විට ගොඩනැඟිලි 40ක් ඉදි කරවා දීමෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ අධ්‍යාපනය ලබන සිසු සිසුවියන්ගේ සංඛ්‍යාව තවත් දහස් සංඛ්‍යාත ගණනකින් ඉහළ යෑමක් බවද උන් වහන්සේ පෙන්වා දුන්හ.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියද මෙහිදී අදහස් දැක්වූවාය.


මැද කොළඹ සමූහ – ආරියරත්න ගනේගොඩ

ඡායාරූප – සුදත් නිශාන්ත

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT