Home » ඉරාන ජනාධිපති ඉබ්‍රාහිම් රයිසි ගමන් කළ හෙලිකොප්ටරය අනතුරක

ඉරාන ජනාධිපති ඉබ්‍රාහිම් රයිසි ගමන් කළ හෙලිකොප්ටරය අනතුරක

-විදේශ ඇමැති ඇතුළු ඉහළ මට්ටමේ නිලධාරීන් ඒ අතර 

by sachintha
May 20, 2024 5:39 am 0 comment

අනතුර සිදුවූ ස්ථානය සොයා දැවැන්ත මෙහෙයුමක්


ඉරාන ජනාධිපති ඉබ්‍රාහිම් රයිසි ගමන් කළ හෙලිකොප්ටර් යානය අසර්බයිජාන් වයඹදිග ප්‍රදේශයේදී අනතුරට ලක් වී ඇතැයි එරට රජයේ මාධ්‍ය වාර්තා කළේය. අනතුර සිදු වී ඇත්තේ අසර්බයිජාන් දේශසීමාවේදී එරට ජනාධිපති ඉල්හාම් අලියෙව් සමඟ එක්ව වේල්ලක් විවෘත කිරීමේ උත්සවයකට සහභාගි වී ආපසු පැමිණෙමින් සිටියදී බව ද ඉරාන ජනරජයේ පුවත් ඒජන්සිය වැඩිදුරටත් වාර්තා කළේය. ඉරාන විදේශ ඇමැති හොසේන් අමීරබ්ඩොල්ලාහියන්, නැ‍ඟෙනහිර අසර්බයිජාන් ආණ්ඩුකාර මලික් රහ්මටි සහ වයඹදිග අසර්බයිජාන්හි ටබ්රිස් නුවර සිකුරාදා දේවමෙහෙය සිදු කළ ප්‍රධාන පූජක හොජ්ජටුල්ඉස්ලාම් අල් හෂීම් අනතුර සිදුවන මොහොතේදී ජනාධිපතිවරයා සමඟ හෙලිකොප්ටර් යානයේ සිටි බව ද එරට රජයේ මාධ්‍ය තහවුරු කර තිබේ. හෙලිකොප්ටර් යානය පිටත් වී පැය භාගයක් ඇතුළත අනතුර සිදුවී ඇති අතර, එම අනතුරින් ජනාධිපති රයිසි ජීවිතක්ෂයට පත්වූ බව ඉරානය නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නැති බව ද වාර්තා වේ. එම සිදුවීමෙන් පසු හෙලිකොප්ටර් යානයේ ගමන් කළ සියලු පුද්ගලයන්ගේ ජංගම දුරකතන විසන්ධි වී ඇතැයි ද, හෙලිකොප්ටර් යානයේ රේඩියෝ පණිවුඩ සන්නිවේදනය බිඳ වැටී ඇතැයි ද වැඩිදුරටත් වාර්තා වේ.

ඝන මීදුම හේතුවෙන් නැඟෙනහිර අසර්බයිජාන් පළාතේ හදිසි ගොඩබෑමකට උත්සාහ කිරීමේදී අනතුර සිදුවන්නට ඇතැයි ඉරාන රජය විශ්වාසය පළ කර ඇති අතර, අනතුර සිදුවූ ස්ථානය හඳුනා ගැනීමට මේ වන විට සෝදිසි කණ්ඩායම් 16ක්, ඩ්‍රෝන නිරීක්ෂණ කණ්ඩායම් කිහිපයක් සමඟ පොලිස් සුනඛයන් රැගත් කණ්ඩායමක් දැඩි උත්සාහයක නිරතවන බව වාර්තා වේ. එම ස්ථානය වයඹ දිග අසර්බයිජාන් හි ටබ්රිස් නුවරට කිලෝමීටර් 50ක් දුරින් පිහිටි කඳුකර ප්‍රදේශයක් බවට අනුමාන කර තිබේ. වෛද්‍ය කණ්ඩායමක් සමඟ ගිලන් රථ අටක්, ඉරාන හමුදාව, කොමන්ඩෝ බළකාය සහ විශේෂ කාර්ය බළකායට අයත් කණ්ඩායම් රැසක් ද එම ස්ථානයට යවා ඇතැයි වාර්තා වේ. ජනාධිපතිවරයා සමඟ වේල්ල විවෘත කිරීමේ උත්සවයට හෙලිකොප්ටර් යානා 3ක් එක්වූ බවත්, සෙසු හෙලිකොප්ටර් යානා නිරුපද්‍රිතව යළි ටෙහ්රානය බලා පැමිණ ඇති බවත් ඉරාන රජයේ මාධ්‍ය සඳහන් කළේය.

අධික වර්ෂාව සහ ඝන මීදුම් තත්ත්වය හේතුවෙන් අනතුර සිදුවූ ස්ථානය නිශ්චිතව හඳුනා ගැනීම දුෂ්කර වී ඇතැයි ඉරාන අභ්‍යන්තර කටයුතු පිළිබඳ ඇමැති අහමඩ් වහිඩ් රජයේ මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇති අතර, ඒ සඳහා දීර්ඝ වේලාවක් ගතවනු ඇතැයි ද ඔහු සඳහන් කර තිබේ.

මේ අතර ජනාධිපති ඉබ්‍රාහිම් රයිසි රැගත් හෙලිකොප්ටර් යානය අනතුරට ලක්වීමේ පුවත වාර්තා වීමත් සමඟ එරට රජයේ රූපවාහිනි නාලිකාව ජනාධිපතිවරයා වෙනුවෙන් සෙත් පතා විශේෂ දේවමෙහෙයක් සජීවීව විකාශය කිරීමට පියවර ගෙන ඇත. දැඩි මතධාරී ඉස්ලාමීය දේශපාලන හා ආගමික නායකයකු වන 63 හැවිරිදි ඉබ්‍රාහිම් රයිසි එරට අධ්‍යාත්මික නායක අයතුල්ලා කමේනිගෙන් පසු එම තනතුරට වඩාත්ම සුදුසු පුද්ගලයා බවට සැලකෙන අතර, ඉරානයේ ජනාධිපතිවරයා ලෙස 2021දී අයතුල්ලා කමේනි විසින් පත් කරනු ලැබුවේ දෙවැනි වරටය.

 

ෆවුස් මොහොමඩ්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT