Home » ඉරාන ජනපතිගේ මරණය තහවුරු වෙයි

ඉරාන ජනපතිගේ මරණය තහවුරු වෙයි

by chanaka
May 20, 2024 10:19 am 0 comment

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි සහ එරට විදේශ අමාත්‍යවරයා ඊයේ (19) සිදුවූ හෙලිකොප්ටර් අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇතැයි තහවුරු වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉරාන රාජ්‍ය මාධ්‍යය සහ එරට ප්‍රවෘත්ති ඒජන්සි වාර්තා කළේ යානයේ සිටි සියලු දෙනා මිය ගිය බවයි.

අනතුරට පත් හෙළිකොප්ටර් යානය තුළ අසර්බයිජානයේ සිට ආපසු පැමිණෙමින් සිටි ජනාධිපතිවරයා, ඇතුළු පුද්ගලයින් 9 දෙනෙකු ගමන් කර තිබුණි. ඉරාන ජනාධිපතිවරයාත් විදේශ අමාත්‍යවරයාත් අසර්බයිජානයට ගියේ ඉරානයේ අනුග්‍රහයෙන් එරට ඉදි කළ ‘කිස් කලාසි’ සහ ‘කොඩාෆරීන්’ නමැති වේලි දෙක විවෘත කිරීම සඳහාය.

කලාපයේ පැවැති අපැහැදිලි කාලගුණය හේතුවෙන් යානය මෙලෙස අනතුරට පත්වූ බවත් එය හදිසි ගොඩබැස්සවීමක් සිදු කළ බවත් ප්‍රථමයෙන්ම විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

එරට රාජ්‍ය රූපවාහිනිය වාර්තා කළේ හෙලිකොප්ටර් යානය කඳු මුදුනක ගැටී ඇති බවයි. කෙසේ නමුත් අනතුරට හේතුව පිළිබඳව නිල ප්‍රකාශයක් මෙතෙක් ඉරාන රජය විසින් සිදු කර නොමැත.

රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය IRNA පැවසුවේ රයිසි ජනාධිපතිවරයා එක්සත් ජනපදයේ නිෂ්පාදිත බෙල් 212 හෙලිකොප්ටරයකින් පියාසර කර තිබූ බවයි.

63 හැවිරිදි ඊබ්‍රහිම් රයිසි 2021 වසරේ දී  ඉරානයේ ජනාධිපති ලෙස තේරී පත් විය.

ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි පසුගිය කාලයේ වඩාත් කතාබහට ලක්වුණු නායකයෙකි. පසුගිය දා උමා ඔය විවෘත කිරීමේ අවස්ථාවට එක් වූයේ ද රයිසිය. ජනාධිපති රයිසි මෙන්ම, ඉරාන විදේශ අමාත්‍ය අමීර්අබ්දුල්රහීන් ශ්‍රී ලංකා රජයේ මිතුරෝ වූහ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT