ලී යුගය
පළමු අගමැති ධුරය භාරගෙන සිදු කළ ප්‍රථම ජාතික දින රැලියේදී ඔහු ප්‍රකාශ කරනු ලැබුවේ සිංගප්පූරුව තුළ ‘දින පහේ වැඩ සතිය’ ක්‍රියාත්මක කළ යුතු බවයි. එහෙයින් 2005 ජනවාරි 1 වැනිදා සිට සිංගප්පූරුවේ සෙනසුරාදා දින අඩක් වැඩ කළ ක්‍රියාවලිය නිමා කරන්නට Lee Hsien මුල් විය. එමෙන්ම ඔහු විසින් ඉටුකරන ලද තවත් සංශෝධනයක් බොහෝ දෙනාගේ ප්‍රශංසාවට ලක් විය. එනම්, එතෙක් සති 8ක් පමණක් වූ මාතෘ නිවාඩු සති 12 දක්වා දීර්ඝ කිරීමට කටයුතු කිරීමයි.
අනෙකුත් රටවලට සාපේක්ෂව ගත් කල ඒක පුද්ගල ආදායම ඉහළ අගයක් ගත් රටක් ලෙසින් හුවාදැක්විය හැක්කේ සිංගප්පූරුවයි. ඒ හා සමඟම රටක සංවර්ධිත මට්ටමේ අනෙකුත් දර්ශනයන් ද සිංගප්පූරුවේ ඉහළ අගයක් පෙන්නුම් කරමින් තිබේ. කොයි හැටි වෙතත් මේ වන විට අලුත් පුවතක් මාධ්‍යයට පැමිණ තිබේ. ඒ අන් කවරක්වත් නොව එරට අගමැති ධුරයේ සිදුවූ වෙනසයි. මීට පෙර අගමැති ධුරයක සිටි ලී ක්වාන් යූගේ පුත්‍රයා වන Lee Hsien Loong වසර 20ක ධුර කාලයෙන් පසුව පසුගියදා සමුගැනීමට තීරණය කළේය. ඔහු තම නිලයෙන් ඉල්ලා අස්වන විට 72 හැවිරිදි වියේ පසුවූ අතර, සිංගප්පූරුව සංවර්ධිත මට්ටමින් නිර්මාණය කළ ලී ක්වාන් යූ ඔහුගේ පියා මෙන්ම සිංගප්පූරුවේ පළමු අගමැතිවරයාය.
සිංගප්පූරුව
නවසිය හැටේ දශකය පමණ වන විට සිංගප්පූරුව දුප්පත්කමින් පීඩාවට පත්ව තිබූ මැලේසියාවට අයත් ප්‍රාන්තයකි. වර්ග කිලෝමීටර් 722ක් පමණ වන මෙම දිළිඳුකමේ ගිලී සිටි ප්‍රාන්තය තමාගෙන් ඉවත් කර දැමීමට මැලේසියාව තීරණය කරනු ලැබුවේ 1965 අගෝස්තු 9 වැනිදාය. සිංගප්පූරුවේ නිදහසින් පසු එරට වැඩ කළ හැකි ජනගහනයෙන් 12%කට රැකියා නොතිබුණු අතර බොහෝ වැසියන්ට නීත්‍යනුකූලව ඉඩකඩම් පවා හිමිව නොතිබුණි. ස්වාභාවික සම්පත් එරට නොමැති හෙයින් සංවර්ධිත මාර්ගයට යොමුවීම පවා ඔවුනට සිහිනයක් විය. එහෙත් නිදහස් සිංගප්පූරුවේ පළමු අගමැතිවරයා බවට පත්වූ ලී ක්වාන් යූ තම රට ඉතාමත් කෙටි කලකින් ආසියාවේ දියුණු රටක් කිරීමේ කර්තව්‍යයට අතගැසීය. එතැන් පටන් සිංගප්පූරුව පුරා තිබූ පැල්පත් ක්‍රමයෙන් ඉවත් වී නවීන මහල් නිවාස ඉදිවීම ඇරඹිණි. එතැන් සිට සිංගප්පූරුව ආසියාවේ විශාලම නාගරික සංස්කෘතියක් බවට පත්වූ රට විය. ලී ක්වාන් යූ එරට සමෘද්ධිමත් කළ අගමැතිවරයා විය.
Lee Hsien Loong
වසර 20කට ආසන්න කාලයක් අගමැති ධුරයේ රැඳී සිටි Lee Hsien වසර ගණනාවක් පුරා සිංගප්පූරුවේ දේශපාලන කටයුතුවල නිරතවෙමින් හුන් Lee යුගය අවසන් කළේය. ඒ පසුගියදා ඔහු තම අගමැති ධුරයට සමුදීමත් සමඟිනි. 1952 පෙබරවාරි 10 දින උපත ලැබූ Lee Hsien Loong අධ්‍යාපනය ලැබුවේ නැන්යැං ප්‍රාථමික පාසලින් සහ කතෝලික උසස් පාසලෙනි. පාසලේදී ඔහු තූර්ය වාදක කණ්ඩායමට ද බැඳී කටයුතු කළ අතර 1971 වසරේදී රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් සිංගප්පූරු සන්නද්ධ හමුදා විදේශීය ශිෂ්‍යත්වයෙන් පිදුම් ලැබීය. 1973 වසරේදී ගණිතය පිළිබඳව පළමු පන්තියේ ගෞරව උපාධියක් ලබාගත් අතර, ඒ කාලසමයේම පරිගණක විද්‍යාව පිළිබඳ ඩිප්ලෝමාවක් සහ ශාස්ත්‍රවේදී උපාධියක් ලබා ගන්නට ද හේ සමත් විය.
ඉන් අනතුරුව 1980දී රාජ්‍ය පරිපාලනය පිළිබඳව වූ ශාස්ත්‍රපති උපාධිය ඔහු සම්පූර්ණ කරනු ලැබුවේ හාවඩ් විශ්වවිද්‍යාලයේ John. F. Kennedy School of Government හිදීය.
1971 වසරේදී යුද හමුදා සේවයට එක්වූ Lee Hsien ඒකාබද්ධ මෙහෙයුම් හා සැලසුම් අධ්යක්ෂ මණ්ඩලයේ තනතුරු මෙන්ම විවිධ කාර්ය මණ්ඩලයේ අණදෙන තනතුරු ද හෙබවීය.
දේශපාලන ගමන් මඟ
ඔහුගේ දේශපාලනයට පා තැබීම 1980 වසරේදීය. මේ සමඟම ඔහුගේ පළමු පාර්ලිමේන්තු ගමන සිදුවූයේ 1984 වසරේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත්වීමත් සමඟිනි. මන්ත්‍රීවරයකු ලෙසින් පත්වන විට ඔහුගේ වයස සඳහන් වූයේ අවුරුදු 32ක් ලෙසිනි. එම පාර්ලිමේන්තු ගමනත් සමඟින් ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා මෙන්ම වෙළෙඳ හා කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයා ලෙසින් ඔහුව පත්කරන ලදි. 1985 වසර යනු Lee ට වැදගත් වසරක් විය. මන්ද රජයේ ආර්ථික කමිටුවේ මුලසුන හෙබවීම ඔහුට පැවරුණු අතර ඔහු විසින් සිංගප්පූරු රජයේ ප්රතිපත්තීන්හි වෙනස්කම් සිදුකරනු ලැබුවේ ආර්ථිකය වර්ධනය කිරීමේ අරමුණිනි. 1986දී වෙළෙඳ හා කර්මාන්ත වැඩබලන අමාත්‍යවරයා ලෙසින් පත්වූ ඔහු 1987දී වෙළෙඳ හා කර්මාන්ත ඇමැතිවරයා ලෙසත්, නියෝජ්‍ය ආරක්ෂක ඇමැතිවරයා ලෙසත් පත් විය.
එතැන් පටන් ඔහු තම පක්ෂයේ වර්ධනය වෙනුවෙන් ද එය තවදුරටත් ගොඩනැඟීම වෙනුවෙන් ද කටයුතු කළ අතර තම පක්ය වන PAP (People’s Action Party) හි තරුණ කමිටුව 1986 මාර්තු මාසයේදී පිහිටුවීමට කටයුතු කළේය. එය පිහිටුවීමෙන් පසු කමිටුවේ පළමු සභාපතිවරයා ලෙසින් පත්වූයේ ද Lee Hsien Loong ය.
අගමැති ධුරය
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් පාර්ලිමේන්තුවට එක්ව නොයෙක් අමාත්‍ය ධුර දැරීමෙන් පසුව 1990 වසරේදී නියෝජ්‍ය අගමැතිවරුන් දෙදෙනාගෙන් අයකු බවට පත්වූයේ Lee ය. ඉන්පසු 1998 ජනවාරියේදී ඔහුගේ අගමැති ධුරය ආරම්භ වූයේ 2004 වසරේ අගෝස්තු 12 වනදා සිටය. Goh Chok tong ගෙන් පසුව අගමැති ධුරය හෙබවීමට සමත් වූ Lee එය භාරගනු ලැබීමෙන් පසු තමා එතෙක් කටයුතු කරමින් සිටි මූල්‍ය අධිකාරියේ සභාපතීත්වයෙන් ඉවත් විය.
පළමු අගමැති ධුරය භාරගෙන සිදුකළ ප්‍රථම ජාතික දින රැලියේදී ඔහු ප්‍රකාශ කරනු ලැබුවේ සිංගප්පූරුව තුළ ‘දින පහේ වැඩ සතිය’ ක්‍රියාත්මක කළ යුතු බවයි. එහෙයින් 2005 ජනවාරි 1 වැනිදා සිට සිංගප්පූරුවේ සෙනසුරාදා දින අඩක් වැඩ කළ ක්‍රියාවලිය නිමාකරන්නට Lee Hsien මුල්විය. එමෙන්ම ඔහු විසින් ඉටුකරන ලද තවත් සංශෝධනයක් බොහෝ දෙනාගේ ප්‍රශංසාවට ලක් විය. එනම් එතෙක් සති 8ක් පමණක් වූ මාතෘ නිවාඩු සති 12 දක්වා දීර්ඝ කිරීමට කටයුතු කිරීමයි. මේ සම්බන්ධව විශාල ප්‍රමාණයෙන් මහජන ඉල්ලීම් ලැබෙමින් සිටි වකවානුවක් තුළ Lee මෙම ක්‍රියාමාර්ගය ගනු ලැබුවේ සේවා යෝජකයින්ගේ මෙන්ම වෘත්තීය සමිතින් සමඟ ද සාකච්ඡා කිරීමෙන් පසුවය. එමෙන්ම සිංගප්පූරුවට එවක දැඩි අවශ්‍යතාවක් වූයේ තම රටෙහි උපත් අනුපාතිකය ඉහළ දැමීමටය. මෙහි වර්ධනය වෙනුවෙන් ඔහු ගෙන ආ පිළිතුර වූයේ කාන්තාවක සිව්වන දරුවා බිහිකරහොත් ඒ වෙනුවෙන් කාන්තාවනට මුදල්මය ආධාර ලබා දීම වෙනුවෙන් ළදරු බෝනස් යෝජනා ක්‍රමයක් ගෙන ඒමයි.
Lee ගේ දෙවන අගමැති ධුර කාලය ආරම්භ වූයේ 2006 වසරේදීය. එම වසරේ පැවති මැතිවරණයේදී PAP පක්ෂය අතිවිශාල ජයග්‍රහණයක් ලබා ගත් අතර, ආසන 84න් 82ක් දිනා ගැනීමට සමත් විය. ඔහුගේ තෙවැනි අගමැති ධුර කාල ආරම්භ වූයේ 2011 වසරේදීය. මෙම වසරේ පැවති මැතිවරණයේදී PAPපක්ෂය නිදහසින් පසු ලබා ගත් අඩුම ඡන්ද ප්‍රතිශතය දක්නට ලැබුණි. එය 60.14%කි. එහෙත් ආසන 87න් 81ක් දිනා ගැනීමට පක්ෂය සමත් විය. ඔහු තම තුන්වන වාරය දිවුරුම් දුන්නේ 2011 වසරේ මැයි 21 වන දිනය.
නව අගමැති
මේ වන විට 2011 ජුනි 01 දින සිට ඔහු සිංගප්පූරු රජයේ ආයෝජන සංස්ථාවේ සභාපති ලෙස නම් කරන ලදි. Lee ගේ අවසන් අගමැති ධුරය ආරම්භ වූයේ 2015 වසරේදීය. මේ ඔහුගේ සිවුවන අගමැති ධුර සමය වූ අතර, PAP පක්ෂය එවර ආසන 89න් 83ක් දිනා ගැනීමට සමත් විය.
කොයි හැටි වෙතත් මේ වන විට Lee Hsien Loong සිංගප්පූරුවේ ලී සමය අවසන් කරමින් අගමැති ධුරයට සමු දී අවසන්ය. Lee අගමැති ධුරයට සමුදීමෙන් සිංගප්පූරුවේ අගමැති ධුරයට පත්වූයේ එරට නියෝජ්‍ය අගමැතිවරයාය. ඔහු Lawrence Wong ය. ඔහු තම දේශපාලන ගමන් මඟට අවතීර්ණ වීමට පෙර සිවිල් සේවකයකු ලෙස සේවය කළේය. Wong 1994 වසරේදී රාජ්‍ය සේවා කොමිෂන් සභා ශිෂ්‍යත්වය යටතේ Wlsongin Madison විශ්වවිද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී උපාධියක් ලබාගත් අතර, 1995දී මිචිගන් විශ්වවිද්‍යාලයෙන් ව්‍යවහාරික ආර්ථික විද්‍යාව පිළිබඳව ශාස්ත්‍රපති උපාධියක් සහ 2004දී හාවඩ් විශ්වවිද්‍යාලයෙන් රාජ්‍ය පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ද ලබාගන්නට සමත්විය.
කවරක් වෙතත් Lee යුගය අවසන් වීමෙන් පසු සිංගප්පූරුවේ අනාගතය රැඳී තිබෙන්නේ ඔහු මතයි.