රාත්රී සමාජ ශාලා සඳහා යොමුවන්නන් සඳහා ෆිල් නොහොත් (ඩාන්සින් ටැබ්ලට්) නමැති මත්පෙති මුදලට අලෙවි කළ පුද්ගලයෙකු වැල්ලම්පිටිය මීතොටමුල්ල නිවසකදී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මීතොට මුල්ලේ රෝයල් නමැති වයස අවුරුදු 22 ක පුද්ගලයෙකි.
එම සැකකරු සමග විවිධ හැඩයෙන් යුත් ෆිල් මත් පෙති 15ක් එම ජාවාරමෙන් උපයාගත් රුපියල් 67250/= ක් පොලිස් භාරයට ගෙන ඇත.
යුක්තිය මෙහෙයුමට සමගාමීව කොළඹ අපරාධ කොට්ඨාසයේ බස්නාහිර පළාත් දූෂණ මර්දන අංශයේ උප පොලිස් පරීක්ෂක බුද්ධික රාජපක්ෂ නිලධාරියා ඇතුළු කණ්ඩායමක් වැල්ලම්පිටිය ප්රදේශයේ සංචාරය කරමින් සිටියදී ලද තොරතුරකට අනුව සැකකරු පදිංචිව සිටි නිවස වටලා තිබූ බව පොලිසිය කියයි. කාමරයේ තිබූ අල්මාරියක බහා තිබූ ඇඳුම් අතර ඩෙනිම් කලිසමක සාක්කුවක ඉතා සූක්ෂම අයුරින් සඟවා තිබූ ෆිල් නමැති විවිධ හැඩයෙන් යුත් මත් පෙති තොගය සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය සඳහන් කරයි.
විවිධ හැඩයෙන් සහ පාටින් යුත් ෆිල් නමැති මත්පෙත්තක් සැකකරු රුපියල් 5000/= මිලකට අලෙවි කර ඇති බවට ප්රශ්න කිරීමේදී අනාවරණය වූ බව පොලිසිය කියයි. සැකකරු කාලයක සිට මෙම මත් පෙති ජාවාරම සිදු කරගෙන ගොස් ඇති බව පවසන පොලිසිය මත්පෙති ලබා දෙන පුද්ගලයා සම්බන්ධයෙන් අනාවරණය කර ගැනීම සඳහා සිදුකරන බව පොලිසිය කියයි. සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්යක්ෂ සහකාර පොලිස් අධිකාරි නෙවිල්ද සිල්වා, ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක ඇන්සලම් ද සිල්වා යන මහත්වරුන්ගේ උපදෙස් මත බස්නාහිර පළාත් දූෂණ මර්දන අංශයේ උප පොලිස් පරීක්ෂක බුද්ධික රාජපක්ෂ මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි.
බණ්ඩාරගම – බිමල් ජයසිංහ