Wednesday, April 9, 2025
Home » ප්‍රදේශ රැසක කොල්ලකෑම් කළ ‘මයියා’ ඇතුළු පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට

ප්‍රදේශ රැසක කොල්ලකෑම් කළ ‘මයියා’ ඇතුළු පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට

by sachintha
May 14, 2024 3:29 am 0 comment

භාර­යට ගත් යතු­රු­පැ­දිය හා ත්‍රිරෝද රථය පොලිස් පරී­ක්ෂා­වට ලක් කරන අයුරු

ප්‍රදේශ රැසක කොල්ලකෑම් හා සොරකම් රැසකට සම්බන්ධ කැස්බෑව නිවුන්ගම ‘මයියා’ ඇතුළු පුද්ගලයන් දෙදෙනකු හෙරොයින් මත්කුඩු තොගයක් සමඟ අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය පවසයි.

එම සැකකරුවන් දෙදෙනා සමඟ හෙරොයින් මත්කුඩු මිලිග්‍රෑම් 11470ක්, කොල්ලකන ලද ත්‍රිරෝද රථයක් සහ සොරා ගන්නා ලද යතුරුපැදියක් ද පොලිස් භාරයට ගෙන ඇත.

බණ්ඩාරගම ගම්මන්පිල වැව අසලදී සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයකු පරීක්ෂා කිරීමේදී ඔහු සන්තකයේ හෙරොයින් මත්කුඩු මිලිග්‍රෑම් 5370ක් තිබී හමුවීමෙන් අනතුරුව සිදු කළ ප්‍රශ්න කිරීමේදී තවත් පුද්ගලයකු සමඟ එක්ව කොහුවල, හිරණ, වැල්මිල්ල හා ඉදිල්පිටි යන ප්‍රදේශවල සිදු කළ කොල්ලකෑම් සහ සොරකම් ගණනාවක තොරතුරු අනාවරණය කළ බව පොලිසිය සඳහන් කරයි.

එම සැකකරු අනාවරණය කළ තොරතුරු අනුව ඔහු සමඟ කොල්ලකෑම් සිදු කළ අනිත් පුද්ගලයා හිරණ පාලම අසලදී හෙරොයින් මත්කුඩු මිලිග්‍රෑම් 6100ක් සමඟ අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය පවසයි.

සැකකරුවන් දෙදෙනාගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේ දී බණ්ඩාරගම වැල්මිල්ල ප්‍රදේශයේ වෙළෙඳසලක් ඉදිරිපිට නවතා තිබූ රුපියල් ලක්ෂ හතරකට අධික වටිනා බෙන්ලි වර්ගයේ යතුරුපැදිය සොරා ගැනීම, කොහුවල පොලිස් වසමේදී ත්‍රිරෝද රථ රියැදුරුට පහරදී ත්‍රිරෝද රථය කොල්ලකෑම, හොරණ මූලික රෝහලේ වෛද්‍යවරයෙකු හිරණ ප්‍රදේශයේ පවත්වාගෙන යන පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයට ප්‍රතිකාර ගන්නා මුවාවෙන් ගොස් තියුණු ආයුධයක් පෙන්වා රුපියල් 10000 අධික මුදලක් කොල්ලකෑම, කිඳෙල්පිටිය වෙළෙඳසලකදී කාන්තාවකගේ රන් මාලය කොල්ලකෑම, කිඳෙල්පිටිය වෙන්දේසි ඉඩමක කාර්යාලයක් කඩා එහි තිබූ පුටු හතරක් සොරකම් කිරීම සිදුකර තිබූ බවට අනාවරණය වූ බව පොලිසිය පවසයි.

සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ තොරතුරු අනුව කොහුවලින් කොල්ලකන ලද ත්‍රිරෝද රථය සහ වැල්මිල්ලෙන් සොරාගන්නා ලද සැකකරුවන්ගේ නිවාසවල සඟවා තිබියදී මේ වන විට සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය පවසයි.

වයස අවුරුදු 24 හා 30 අතර පසුවන කැස්බෑව නිවුන්ගම සහ මඩපාත එල්.එස්. වත්ත – ගෙවල් පහ ප්‍රදේශයේ පදිංචි සැකකරුවන් දෙදෙනාගෙන් රැඳවුම් නියෝග මත දීර්ඝ ලෙස ප්‍රශ්න කර ඉකුත් කාලය පුරා සිදුකරන ලද බව කියන සොරකම් සම්බන්ධයෙන් කරුණු අනාවරණය කරගැනීමට කටයුතු කරන බව පොලිසිය පවසයි.

බණ්ඩාරගම – බිමල් ජයසිංහ

කොට්ටාව – ප්‍රදීප් කුමාර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT