Home » ජනාධිපතිතුමා රටේ ආර්ථිකය ගැන කළ ප්‍රකාශය ගැන විවාදයක් ලබා දෙන්න සූදානම්

ජනාධිපතිතුමා රටේ ආර්ථිකය ගැන කළ ප්‍රකාශය ගැන විවාදයක් ලබා දෙන්න සූදානම්

by mahesh
May 10, 2024 1:00 am 0 comment

රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (9) සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් ලබා දීමට සූදානම් බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ඇමැති ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් අවශ්‍ය පැහැදිලි කිරීම් කර ගැනීමට විපක්ෂයට අවස්ථාව ලැබෙනු ඇති බවද ඇමැතිවරයා පැවසීය.

ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, ඇමැති ප්‍රසන්න රණතුංග මහතා මේ බව සඳහන් කළේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (9) පාර්ලිමේන්තුවේදී සිදු කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමිනි.


ආර්ථිකය වර්ධනය වෙනවා වෙනුවට රටේ ආර්ථිකය කුඩා වෙලා තියෙනවා
– විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙසේද පැවසීය.

ජනාධිපතිතුමා පසුගිය කාලයේදී වගේම අද දවසේත් මේ සභාවට තොරතුරු ලබා දුන්නා. එතුමා කිව්වා සමහරු අභියෝග භාර නොගත් නිසා එතුමා කොන්දේසි රහිතව මේ රට භාර ගත්තා කියලා. මම මේ අවස්ථාවේදී කියන්න කැමතියි එතුමා කෙසේ සඳහන් කළත් අද රට තුළ නිර්මාණය වෙලා තියෙන්නෙ නව සාමාන්‍ය තත්ත්වයක්. ඒ තුළ ආර්ථිකය වර්ධනය වෙනවා වෙනුවට රටේ ආර්ථිකය කුඩා වෙලා තියෙනවා. ජනතාවගේ ජීවිතය හැකිළිලා. ජනතාවට අසීමිත පීඩනයක් පැටවිලා. දුප්පත්කම, විරැකියාව, ගෑස් හා විදුලිබිල වැඩි වෙලා. ව්‍යාපාර කඩාවැටිලා. මන්දපෝෂණය වර්ධනය වෙලා. රටේ බහුවිධ අවදානම් තත්ත්වයක් ඇති වෙලා තිබෙන බව ජාත්‍යන්තර සංවිධාන පවා වාර්තා ලබා දී තිබෙනවා.

අස්වැසුම සුබසාධන වැඩසටහන සාධනීය වැඩසටහනක් නෙවෙයි. එහි ආර්ථික සංවර්ධනය ගැන දැක්මක් නැහැ. කිසියම් කාලසීමාවකට මුදල් ලබා දීමක් සිදු වෙනවා. ඒක වැරදියි කියල අපි කියන්නේ නැහැ. ජනාධිපතිතුමා තනතුරට පත්වූ මොහොතේම රටේ ජන සංගණනය කරන්න තිබුණා. ඒ තුළින් ගෘහයක ආදායම ගැන අවබෝධයක් ලබා ගන්න තිබුණා. ඒ අවබෝධයෙන් මේ සුබසාධන වැඩ ටික කරන්න තිබුණා. අද මේ මොහොත වන විට තත්ත්වය මොකද්ද? ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන අලස විදියට ක්‍රියාත්මක වෙනවා.

ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ඇමැති ප්‍රසන්න රණතුංග මහතා –

මේක විවාදයකට යනවා. එහෙමනම් අපි ජනාධිපතිතුමාගේ කතාව ගැන විවාදයක් ගනිමු. අපි විරුද්ධ නැහැ. නමුත් ඔබතුමන්ල අවස්ථාව ඉල්ලුවේ කරුණු පැහැදිලි කර ගැනීමක් කරන්න. මේ විදයට ගියොත් අපිට න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කර ගන්න බැරිව යනවා.


විපක්ෂ නායකතුමා අගමැතිකම ගත්ත නම් මේ මොකුත් වෙන්නේ නෑ
– ජනාධිපති රනිල් වික්‍රමසිංහ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා –

මේ කාරණාව ගැන විවාදයක් තිබුණොත් හොඳයි, මොකද මේ සභාවේ විවිධ මත තියෙන නිසා. ඒ වගේම මේ සියල්ලටම විපක්ෂ නායකතුමා වගකියන්න ඕනෑ. එතුමා අගමැතිකම ගත්ත නම් මේ මොකුත් වෙන්නේ නෑ. මම මට පුළුවන් විදියට වැඩේ කළා.

(සභාවේ සිනා)

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා –

විපක්ෂ නායකතුමනි, තවත් කාලය කා දමන්න එපා

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා –

ඇයි අපිට භාෂණයේ නිදහසක් නැද්ද? අපිට කතා කරන්න බැරිද? ඔබතුමා පක්ෂග්‍රාහී වෙන්න එපා. මට කරුණු කාරණා ඉදිරිපත් කරන්න අවස්ථාව දෙන්න. මගේ කට වහන්න එපා.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා –

ඔබතුමා අවස්ථාව ඉල්ලුවේ කරුණු පැහැදිලි කර ගන්න. කතා කරන්න ගියාම අනවශ්‍ය ප්‍රශ්න ඇති වෙනවා.

(සභාවේ කෑ ගැසීම්)

විදේශ රැකියා හා කම්කරු ඇමැති මනූෂ නානායක්කාර මහතා –

ජනාධිපතිතුමා කතාවක් කළා. ඒ ගැන පැහැදිලි කිරීම කෙළින්ම ඇහුවා නම් හරි. කරුණු පැහැදිලි කරන්න කියල පැය භාගයකට වඩා කතා කරනවා. මෙතුමා ජනාධිපති කවුද? විපක්ෂ නායක කවුද? කියන්න දන්නෙ නැහැ.

ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ඇමැති ප්‍රසන්න රණතුංග මහතා –

මේක පැහැදිලි කර ගැනීමක් නොවෙයි කතාවක්. ජනාධිපතිතුමා සභාවෙන් පිටව යනකොට විපක්ෂ නායකතුමා අහනවා බයේද යන්නේ කියල. අනුර කුමාර දිසානායක මහත්තයාත් ඕකම විපක්ෂ නායක තුමාගෙන් ඇහැව්වා විවාදයකට ආරාධනා කරපු වෙලාවේ.

ඒ ගොල්ලන්ගෙ විවාද ගියාට කමක් නෑ. මේ න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කරන්න අවස්ථාව දෙන්න.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT