අමෙරිකාවේදී තවත් සති 3කින් ආරම්භවන විස්සයි20 ලෝක කුසලාන සංචිතයට තුන් ඉරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ ඇතුළත් වෙද්දී, ප්‍රහාරාත්මක පිතිකරු කුසල් ජනිත් පෙරේරා ඉවත් කරයි. එමෙන්ම පසුගිය අවසන් විස්සයි20 තරගාවලි දෙකකදී ශ්‍රී ලංකා පිල නියෝජනය කළ අවිශ්ක ප්‍රන්නාදු හා බිනුර ප්‍රනාන්දු ලෝක කුසලාන සංචිතයෙන් ඉවත් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන ඇත.
ශ්‍රී ලංකා විස්සයි20 ලෝක කුසලාන සංචිතයට ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතාගේ අනුමැතිය ඊයේ ලැබුණු අතර, කණ්ඩායම මේ 14 වැනිදා අමෙරිකාව බලා පිටත් වේ.
ශ්‍රී ලංකා පිලට ඕනෑම හදිසි අවස්ථාවකදී එක්කර ගැනීමේ අවශ්‍යතාව මත අසිත ප්‍රනාන්දු, භානුක රාජපක්ෂ, විජයකාන්ත් වියස්කාන්ත් හා ජනිත් ලියනගේ අතිරේක සංචාරක ක්‍රීඩකයන් ලෙස අමෙරිකාව බලා පිටත්ව යති. යම් හෙයකින් තරගාවලිය අතරතුරදී ක්‍රීඩකයකු ආබාධයකට ලක්වුවහොත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තරග කමිටුවේ අනුමැතිය මත අතිරේක සංචාරක ක්‍රීඩකයකුට අවස්ථාව ලබා ගැනීමේ හැකියාව පවතී. එබැවින් මේ සිව්දෙනා තරගාවලිය නිමා වනතුරු අමෙරිකාවේ රඳවා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තීරණය කොට තිබේ.
කුසල් ජනිත් පෙරේරා පසුගිය වසර 4කදී විස්සයි20 තරග 20ක් ක්‍රීඩාකොට ඇති අතර, එහිදී අර්ධ ශතකයක් වාර්තා කළේය. 2023දී නවසීලන්තයට එරෙහිව ලකුණු 53 එම එකම අර්ධ ශතකය වේ. කුසල් ක්‍රීඩා කළ අවසන් විස්සයි20 තරග දෙකේදීම සිම්බාබ්වේ පිලට එරෙහිව බින්දු දෙකක් වාර්තා වු අතර, පෙරහුරු තරග තුනේදීම ඔහුගේ දක්ෂතාව ලකුණු 56කට සීමා විය.
තවමත් විස්සයි20 ජාත්‍යන්තර තරගයකට ක්‍රීඩා කොට නැති දුනිත් වෙල්ලාලගේ මෙවර විස්සයි20 ලෝක කුසලාන සංචිතයට එක්ව සිටින අතර, ඔහු ක්‍රීඩා කරන ස්ථානය වෙනුවෙන් සටන් කළ අකිල ධනංජය හා ජෙෆ්රි වැන්ඩසේ සංචිතයට එක් කොට නැත. පෙරහුරු තරගාවලියේදී දුනිත් වෙල්ලාලගේ තරග 4කදී කඩුලු 6ක් බිඳ හෙළීමට සමත් වුවද පිතිකරුවකු ලෙස දස්කම් දැක්වීමට නොහැකි විය. ඔහු පෙරහුරු තරගාවලියේ එක් ඉනිමකදී ලකුණු 7ක් ලබාගත්තද පන්දු රැකීමේදී දක්වන දක්ෂතා තේරීම් කමිටුවේ අවධානයට යොමුව ඇත.
ලෝක කුසලාන විස්සයි20 සංචිතය මෙසේය: වනිඳු හසරංග (නායක), චරිත් අසලංක (උපනායක), පැතුම් නිශ්ශංක, කුසල් මෙන්ඩිස්, කමිදු මෙන්ඩිස්, සධීර සමරවික්‍රම, ඇන්ජලෝ මැතිව්ස්, දසුන් ශානක, ධනංජය ද සිල්වා, මහීෂ් තීක්ෂණ, දුනිත් වෙල්ලාලගේ, දුෂ්මන්ත චමීර, මතීෂ පතිරණ, නුවන් තුෂාර හා ඩිල්ෂාන් මධුසංඛ.