ආණමඩුව කන්නන්ගර ආදර්ශ විද්‍යාලයේ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාග මධ්‍යස්ථානය තුළදී සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගුටි හුවමාරුවකින් තුවාල ලැබූ සිසුවකු ආණමඩුව මූලික රෝහලට ඇතුළත් කළ බව ආණමඩුව පොලිසිය කියයි.
මෙසේ ගුටි හුවමාරුව සිදුව ඇත්තේ ආණමඩුව කන්නන්ගර ආදර්ශ විද්‍යාලයේ විභාග මධ්‍යස්ථානයේ සහ වල්පාලුව කනිෂ්ඨ මහා විද්‍යාල විභාග මධ්‍යස්ථානයේ සාමාන්‍ය පෙළට මුහුණදෙන සිසුන් දෙපරිසක් අතරය.
පෙරේදා (08) පැවැති ඉතිහාසය ප්‍රශ්න පත්‍රයේ දෙවැනි කොටසට පෙනී සිටි මෙම විභාග අපේක්ෂක සිසුන් විද්‍යාල භුමියේ ජල ටැංකිය අසලදී ඇතිවූ බහින්බස් වීමකින් පසුව මෙම ගැටුම ඇති වී තිබූ බව පොලිසිය කියයි.
ගැටුමෙන් හිසට පොලු හෝ ගල් පහරක් වැදී තුවාල ලබා ඇත්තේ වල්පාළුව විද්‍යාලයේ සිසුවකු බව කියයි.
එම ගැටුමට දෙපාර්ශ්වයෙම සිසුන් 50කට වැඩි පිරිසක් එක් වී ඇති බව ද වාර්තා වෙයි. ඉන් පසුව විභාග මධ්‍යස්ථානය භාර ශාලාධිපති කඩිනමින් අනෙකුත් පිරිස සමඟ එක් වී ආණමඩුව පොලිසිය කැඳවා ගැටුම වළක්වා සිසුන් ඉවත් කර තුවාල ලැබූ සිසුවා ආණමඩුව රෝහලට යවා තුවාල ලැබූ ස්ථානවලට ප්‍රතිකාර ලබාදී පසුව සියලු දෙනා නැවත පළමු ප්‍රශ්න පත්‍රයට පෙනී සිටීමට ඉඩ සලස්වා තිබූ බව ද කියයි.
පසුව නැවතත් තුවාල ලැබූ සිසුවා රෝහල්ගත කිරීමට ඔවුන්ගේ මවුපියන් කටයුතු කර තිබූ බව ද කියයි. පොලිසිය පවසන්නේ කන්නන්ගර විද්‍යාලයේ සිසුන් හා වල්පාළුව කනිෂ්ඨ විද්‍යාලයේ සිසුන් අතර පැරණි කොන්තරයක් පවතින බවත් එය දිගින් දිගටම ගෙවී ගිය වර්ෂවලදී ද පැරණි කොන්තරය මතු කරමින් එම කාලවල ද සා/පෙළට පෙනීසිටි සිසුන් සමඟ ගැටුම් ඇතිව තිබූ බවයි.
ඒ හේතුවෙන් පසුගිය වර්ෂවලදී ද මෙලෙස ගැටුම් ඇතිව තිබූ බව ද පැවසෙයි. ගිය වසරේ ද මෙම ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් ආණමඩුව පොලිසිය කන්නන්ගර විද්‍යාලය අසලට විශේෂ ආරක්ෂාවක් ලබාදීමට කටයුතු කර තිබිණි.
පෙරේදා (08) පැවැති ගැටුම හේතුවෙන් ඊයේ (09) සිට ආණමඩුව පොලිසිය කන්නන්ගර විද්‍යාල භූමියට පොලිස් ආරක්ෂාවක් ලබා දීමට කටයුතු කළ බවත් විභාගය අවසන්වනතුරු පොලිස් ආරක්ෂාව වැඩි කිරීමට කටයුතු කර ඇති බවත් ආණමඩුව පොලිසිය කියයි. 8 වැනි දින කන්නන්ගර විද්‍යාලයේ අ.පො.ස. සා/පෙළ විභාග මධ්‍යස්ථානයේ ඇති වූ ගැටුම නැවත ඇති නොවීමටත් සිසුන්ට නිසි ආරක්ෂාව යටතේ විභාගයට පෙනී සිටීමට සුදුසු තත්ත්වයක් ඇති කිරීම සඳහා පුත්තලම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ අර්ජුන අබේරත්න මහතා ඊයේ (09) උදෑසන කන්නන්ගර විද්‍යාලයේ විභාග මධ්‍යස්ථානයට ගොස් ගැටුමට මැදිව සිටි සිසුන් පාර්ශ්ව දෙකම කැඳවා විභාගයට ගැටුමකින් තොරව පෙනීසිටීමට කටයුතු කරන ලෙසට අවවාද කර තිබිණි.
ඒ සමඟම ශාලාධිපති ඇතුළු විභාග කාර්ය මණ්ඩලය කැඳවා සිසුන් පාර්ශ්ව දෙකම ගැන නිසි අවදානයකින් සිටින ලෙසටත් විවේක කාලය තුළදී එක් සිසුන් කණ්ඩායමක් ශාලාවෙන් එළියට ගොස් නැවත ශාලාවට පැමිණීමෙන් පසු අනෙක් කණ්ඩායම ශරීර අවශ්‍යතා සඳහා එළියට යැවීමට කටයුතු කරන ලෙසට උපදෙස් දීම සිදු වූ බව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා කළ විමසීමේදී පැවසීය.