සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට ලෝකයේම අවධානය යොමු කළ මල් විකුණන ළමයා ගැන සංචාරක ඇමැතිවරයාගේ හෝ පාලකයන්ගේ අවධානය යොමු විය යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පැවැසීය.
ඒ මහතා මේ බව කියා සිටියේ ‘බිඳවැටුණු මව්බිම ගොඩනඟන විසඳුම’ මැයෙන් පෙරේදා (08) හැටන්, කොටගල නගරයේ පැවති සාකච්ඡා සභාව අමතමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා මෙලෙස ද කියා සිටියේය.
“නුවරඑළිය, රම්බොඩ මාර්ගයේ මල් විකුණන ළමයෙක් ගැන කතා වෙනවා. ඒ ළමයගේ වීඩියෝව චීනයේ කෝටි 13කට අධික පිරිසක් නරඹා තියෙනවා. ඒ නිසා දැන් විදේශීය සංචාරකයන් එනවා නුවරඑළියට මල් විකුණන ළමයි බලන්න. නුවරඑළිය රම්බොඩ පැතිවල මීට කලින් මල් විකුණන ළමයි හිටියේ නැද්ද ? අහඹු සිදුවීමක් විදිහට ඒ ළමයගේ වීඩියෝව ප්‍රසිද්ධ වෙලා මෙරට සංචාරක කර්මාන්තය ගැන සියලු දෙනා කතා වෙනවා.
හැබැයි මේ ළමයා ගැන සංචාරක ඇමැතිවරයා හෝ ආණ්ඩුවේ කවුරුත් කතා වෙනවා ඇහුණේ නෑ. පාර්ලිමේන්තුවේ කතා වෙන්නේ ඩයනා ගැන. අපේ පක්ෂයේ ලාල් කාන්ත සහෝදරයාට වචනයක් වැරදුණාම පක්ෂ විපක්ෂ භේදයකින් තොරව කෑගහනවා.
පාර්ලිමේන්තුවේ ඉන්නේ මේ රටේ හරිම අවංක නීතිගරුක පිරිසක්. අපේ හරිනි අමරසූරිය සහෝදරිය මරන් කන සයිස් එකට කෑගහනවා. ඒ එක් කෙනෙක්වත් ජීවත් වෙන්නේ දහදිය දාගෙන පාරවල් දිගේ දුවගෙන යන මේ මල් විකුණන ළමයා ගැන කතා වෙන්නේ නෑ. සමාජ මාධ්‍යයට මතක් වු ළමයා ගැන පාර්ලිමේන්තුවට අමතක වෙන්නේ ඇයි?
පාර්ලිමේන්තුවයි රටේ ජීවත් වෙන්න වෙහෙසෙන මිනිස්සුයි අතර කිසිම සම්බන්ධතාවයක් නෑ. විදේශිකයන් ඒ ළමයට කරන දේවල් කරන්න ඕනෙ අපේ රටේ ඇමැතිවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නේද? ඒ ළමයාගේ කතාව ඇතුළේ කඳුළු කතාවක් තියෙනවා. පාසල් යන්න ඕනෙ වයසේ ළමයෙක්. ඒ ළමයා කියනවා, මට චීනෙට යන්න කතා කළත් මම යන්නේ නෑ. මගේ එකම හීනේ ගෙදර හදාගන්න එක කියලා.”