දේපළ උපයාගත් ආකාරය හෙළි කිරීමට අපොහොසත් වූ අක්මීමන ප්‍රදේශයේ පදිංචි කාන්තාවකට අයත් රු. කෝටි 13කට අධික වටිනාකමකින් යුත් ගාල්ල, දඩල්ලේ සිව්මහල් ගොඩනැඟිල්ලක් සහ අක්මීමන, අංකොක්කාවල පිහිටි අක්කර 1 පර්චස් 8ක තේ සහ කෝපි ඉඩමක්, මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ගාල්ල පොලිසිය විසින් පෙරේදා (8) සවස තහනම් කරන ලදි.
ගාල්ල පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන අංශය විසින් මෙම දේපළ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලද අතර, එහිදී එම දේපළවල හිමිකාරිය වන අක්මීමන, අරුණෝදයගම පදිංචි 35 හැවිරිදි කාන්තාව එම දේපළ මිලදී ගැනීමට මුදල් උපයාගත් ආකාරය හෝ මුදල් ලැබුණු ආකාරය හෝ පිළිබඳව අනාවරණය කිරීමට අපොහොසත්ව ඇත. පසුව පොලිසිය මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර එම දේපළ තහනම් කිරීමට පියවර ගනු ලැබීය. ඒ අනුව ගාලු දිසා භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත චන්ද්‍රසිරි, ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සතිස් ගමගේ, පොලිස් අධිකාරී සනත් අමරසිංහ, මූලස්ථාන පොලිස් පරීක්ෂක එස්.එස්. ජයවීර යන මහත්වරුන් එම ස්ථානයට ගොස් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ එම දේපළ තහනම් කිරීමට පියවර ගනු ලැබීය.
ගාල්ල පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ.එස්.එල්. නාරංගොඩ, උප පොලිස් පරීක්ෂක ප්‍රේමරත්න, සැරයන් (35490) සිසිර යන මහත්වරුන් විසින් මේ පිළිබඳ විමර්ශන පවත්වා ඇත.