Home » සිහින සමීකරණ මාධ්‍ය දැක්ම

සිහින සමීකරණ මාධ්‍ය දැක්ම

by mahesh
May 10, 2024 1:00 am 0 comment

නුවන් මහේෂ්, නිශ්ශංක විජේරත්න

තරුණ ටෙලි නාට්‍ය හා චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වන සසික හේරත්ගේ කුලුඳුල් සිනමා නිර්මාණය වන ‘සිහින සමීකරණ’ චිත්‍රපටයේ මාධ්‍ය දැක්ම පසුගිය දින කොල්ලුපිටිය ලිබර්ටි සිනමා ශාලාවේදී පැවැත්විණි. ඒ සඳහා සිනමා පටයට රංගනයෙන් දායක වුණු සියලු නළු නිළියන් සමඟ කාර්මික ශිල්පීන් ඇතුළු විශේෂ ආරාධිත අමුත්තෝ රැසක් සහභාගි වූහ.

මහාචාර්ය චරිත් ජයතිලක හා ධම්මික ගී කියන ගේ නිෂ්පාදනයක් වන ‘සිහින සමීකරණ’ සිනමාපටය කාලීන ප්‍රස්තුතයක් රැගත් සිනමා පටයකි. මෙම සිනමාපටයට සජිත අනුත්තර, රසුණි කාවින්දි, අශාන් ඩයස්, රන්දික ගුණතිලක, පූජන දන්දෙණිය, නයනා හෙට්ටිආරච්චි, රෙබෙකා දිල්රුක්ෂි, වසන්ත විට්ටචි, මොරින් චාරුණී රංගනයෙන් එක්වූහ.


සිසුවිසරට ජයග්‍රහණ දෙකක්

කොළඹ 07 සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ සිසුවිසර මාධ්‍ය ඒකකය පිට පිට ජයග්‍රහණ දෙකක් ලබා ගැනීමට පසුගියදා සමත් විය.

ඒ යසෝදරා විද්‍යාලයීය මාධ්‍ය ඒකකය විසින් සංවිධානය කළ මාධ්‍ය දින තරගාවලියේ ‘සුභාවිත 2023’ සමස්ත ලංකා අනුශූරතාව සහ නුගේගොඩ අනුලා විද්‍යාලයේ මාධ්‍ය ඒකකය සංවිධානය කළ සමස්ත ලංකා මාධ්‍ය දින තරගාවලියේ ‘සමාහාර 2023’ වෙනුවෙන් දෙවන අනුශූරතාව ද ලබා ගැනීමට සමත් වීමයි.


සංගීත ප්‍රසංගයක් අද කොටහේනදී

උතුරු කොළඹ කොටහේන ප්‍රදේශවාසීන් සමඟ කොළඹ හිටපු මන්ත්‍රීන් වන, ආර්. ඒ අනුර, චින්තක පෙරේරා, සුජීව දේශප්‍රිය සංවිධානය කරන අකුරැස්ස XPERT කණ්ඩායම සංගීතවත් කරන විරාජ් පෙරේරා, චන්ද්‍රසේන හෙට්ටිආරච්චි, චලක චමුපති, තිවංක දිල්ෂාන්, සරත් රුද්‍රගු, ජාලිය රණතුංග, ප්‍රගීත් සිල්වා, මංජුල පුෂ්පකුමාර, අජිත් මුතුකුමාරණ, දිමංක වෙල්ලාලගේ, ළහිරු බාලසූරිය ආදීන් ගී ගයන සංගීත ප්‍රසංගය අද ( 10) සවස කොටහේන මංසන්ධියේදී පැවැත්වේ.


ලාංකේය සංගීත ලෝකය බබළවන ගයාත්‍රි කේමදාස

බටහිර සම්භාව්‍ය සංගීත වංශයේ ඉහළම තැනක හා යුගකාරක සංගීතඥයකු ලෙස සැලකෙන Haydn ගේ ප්‍රකට නිර්මාණයක ඌනපූර්ණයක් ලෙස සංගීතමය එකතු කිරීමක් කිරීමට ආසියානු සංගීතවේදනියකට අවස්ථාව ලැබී තිබේ. ඒ මෙරට ප්‍රවීණ සංගීතඥයකු වූ ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ගේ දියණිය වන අන්තර්ජාතික සම්මානලාභිනී සංගීතවේදනියක මෙන්ම චිත්‍රපට සංගීත අධ්‍යක්ෂවරියක ද වන ගයත්‍රි කේමදාසටය.

ගයත්‍රි කේමදාසගේ නිර්මාණ කෞශල්‍යය ඇතුළු සමස්ත සංගීත නිර්මාණ Haydns creation නමින් එළැඹෙන 12 වැනිදා ප. ව. 03.00ට එංගලන්තයේ Portsmouthහිදී ශාන්තමරියා දෙව් මැඳුරේදී “Harant symhony orchestra” නමින් සංධ්වනි වාද්‍ය වෘන්දයේ සංගීත සහය සමඟ ප්‍රසංගය පැවැත්වීමට නියමිතය. Haydnගේ මෙම නිර්මාණ වාග්නාද සංගීත ප්‍රභේදයට අයිති ලොව පුරා ප්‍රකට සංගීත නිර්මාණයකි. Creation හෙවත් උත්පත්ති ලෙස හැඳින්වෙන මෙම නිර්මාණය ඔස්ටියෙන් සංගීතයේ පුරෝගාමී සංගීතඥයකු ලෙස සැලකෙන Joseph Haydnගේ නිර්මාණයකි.


ආදරිය මමයි මනමේ…

වසර විස්සකට පෙර මහාචාර්ය එදිරිවීර ස‍රච්චන්ද්‍රයන්ගේ මනමේ නාටකයේ මනමේ කුමරියගේ චරිතයට රංගනයෙන් දායක වූ ද වර්තමානයේ මහනුවර අරුප්පල විද්‍යාලයේ සංගීතාචාරිනී, ගායන ශිල්පිනී ක්‍රිශාන්ති රාජපක්ෂ ගේ නවතම ගීතය වන ‘ආදරිය මමයි මනමේ’ පසුගිය දින මහනුවරදී ජනගත කෙරිණි. අර්ථවත් පද මාලාවක් සහිත ගීතයක් ලෙස එය පද රචනය කළේ තනුජා ඒකනායකය. සංගීත නිර්මාණය, සංගීතවේදී දර්ශන වික්‍රමතුංගගෙන් වන අතර, රූප රචනය හා කැමරාකරණය, සිසිල් මදුරංගගේය. ගායනය ක්‍රිශාන්ති රාජපක්ෂගෙනි.


සෙනෙහසකට අරුතක් හෙට

විශාරද අසංක ප්‍රියමන්ත පීරිස්ගේ ‘සෙනෙහසකට අරුතක්’ ඒකපුද්ගල ගී ප්‍රසංගය හෙට (11) නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වේ. නාඩා සංගීත රාවයට නිරෝෂා විරාජනී, අංජලී, අසංජය සමඟ අසංත ගායනයෙන් සහය වේ.


මල්මාලආරච්චිගෙන්

සජීව මල්මාලආරච්චිගේ කලා දිවියට 40 වසරක් පිරීම නිමිත්තෙන් ‘රොම්බ තෑන්ක්ස්’ නමින් ඔහුගේ 08 වැනි නාට්‍ය නිර්මාණයට සූදානම් වෙයි. සුරවි එන්ටප්‍රයිසස් ඉදිරිපත් කරන මේ තුළින්, උපේක්ෂා ස්වර්ණමාලි, උදයන්ති කුලතුංග ප්‍රථම වරට වේදිකා නාට්‍ය රංගනයට පිවිසෙති. රවින්ද්‍ර යසස්, දිමුතු චින්තක, දමයන්ත පෙරේරා, ජගත් මුතුකුමාරණ, චන්න කුලරත්න, හේමන්ත ජයලත්, පී.එම්. ශෂී සෙව්වන්දි, සජීව මල්මාලආරච්චි ආදීහු රඟති. වේශ නිරූපණයෙන් ප්‍රේම්ජයන්ත කපුගේ, වේදිකා පරිපාලනයෙන් සනත් ජානක හේරත්, වේදිකා ආලෝකකරණය හා තාක්ෂණික ශබ්ද තරංග මිහිඳු මධුසංඛගෙනි. පසුතල නිර්මාණය අජන්ත අලහකෝන්, වේදිකා සැරසිලි රෝහණ හේවාවිතාරණ, නර්තන නිර්මාණය නිලාන් මලිගැස්ප, ඡායාරූපකරණය දයාවංශ විජයලත් එක්වන අතර සුසන්ත අබේරත්නගේ නිෂ්පාදනයක් වන රොම්බ තෑන්ක්ස් අගෝස්තු මස වන විට රංගගත කිරීමට අපේක්ෂා කරන බව සජීව පවසයි.


සුනිල් ටී. ගෙන් රංගනයට ඇරයුම්

රංජන් රාමනායක ප්‍රධාන චරිතය නිරූපණය කරන, සුනිල් ටී. ප්‍රනාන්දු සහ ‘තවිතිසා පික්චර්ස්’ වෙනුවෙන් මොහාන් පෙරේරා නිෂ්පාදනය කරන ÒTik TokÓ චිත්‍රපටයේ රඟපෑමට සුරූපී, ආකර්ෂණීය වයස අවුරුදු 30ට අඩු යුවතියන් හට අවස්ථාවක් හිමි වී තිබේ. හෙට (11) උදේ 10.30 සිට සවස 4.00 දක්වා කොළඹ 7 ජාතික චිත්‍රපට සංස්ථාවේ පැවැත්වෙන සම්මුඛ පරීක්ෂණය සඳහා සහභාගි විය හැකිය. මෙය සුනිල් ටී. ප්‍රනාන්දු නිෂ්පාදනය කරන 75 වැනි චිත්‍රපටයයි.


“විශ්ම” අද

රන්දික නදීෂාන් විජයමාන්න අධ්‍යක්ෂණයක් වන 2s ventures Movies වෙනුවෙන් රුහුණුගේ සඳමාලි නිෂ්පාදනය කළ ‘විශ්ම’ සිනමාපටයේ විශේෂ දැක්මක් හා මාධ්‍ය දර්ශනය අද (10) වැල්ලවත්ත සැවෝයි ප්‍රිමියර් සිනමා ශාලාවේදී පැවැත්වේ.


“බල්ලොත් එක්ක බෑ 2” එයි

රවින්ද්‍ර ආරියරත්න නාට්‍ය නිර්මාණයක් වන ඇන්තනි සුරේන්ද්‍ර සංගීතය මෙහෙයවන “බල්ලොත් එක්ක බෑ 2” අනිද්දා (12) කොළඹ සුදර්ශි ඇරීනා තියටර්හිදී වේදිකාගත කෙරේ.


සීමා පවුරු බිඳලූ වාස්තු විද්‍යාඥවරිය මිනෙට් ද සිල්වා

ඉතිහාසයේ පටන් පිරිමි විසින් ආධිපත්‍යය දැරූ ක්ෂේත්‍රයක පුරෝගාමියෙක් ලෙස නැඟී සිටින මිනෙට් ද සිල්වාගේ (1918–1998) බලපෑම වාස්තු විද්‍යාත්මක නිර්මාණ සැලසුම්කරණයේ පමණක් නොව, ලිවීම්, ඉගැන්වීම් මෙන්ම විද්වත් නියැළීම් තුළත් අදටත් ප්‍රතිරාවය දෙයි. ශ්‍රී ලංකාවේ ප්‍රථම වාස්තු විද්‍යාඥවරිය ලෙස සැලකෙන ද සිල්වා, 1948 මහනුවර Studio of Modern Architecture නම් තමන්ගේ ම වාස්තු විද්‍යා ව්‍යවහාරයක් පිහිටුවීමෙන් සම්ප්‍රදායන් බිඳ හෙළුවාය. ඇය, තමන්ගේ ම වාස්තු විද්‍යා ව්‍යවහාරයක් පිහිටු වූ ලෝකයේ පළමු වාස්තු විද්‍යාඥවරියන්ගෙන් කෙනෙකු වේ. විශේෂයෙන් ම, ද සිල්වා 1948දී බ්‍රිතාන්‍ය වාස්තු විද්‍යාඥයින්ගේ රාජකීය ආයතනයේ (RIBA) ආශ්‍රිතයෙකු ලෙස තේරී පත්වූ ප්‍රථම ආසියාතික කාන්තාව වන අතර, වාස්තු විද්‍යාවට ඇය ලබාදුන් කැපී පෙනෙන දායකත්වය වෙනුවෙන් ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥයන්ගේ ආයතනය (SLIA) 1996දී ඇයට රන් සම්මානය පිරිනැමුවේ ය.

ද සිල්වාගේ වාස්තු විද්‍යාත්මක ඌරුව නූතන නිර්මාණ සැලසුම්කරණ මූලධර්ම සහ සාම්ප්‍රදායික ශ්‍රී ලාංකික සෞන්දර්යයන්වල සුවිශේෂ සංයෝගයක් විය. සරල බව, කාර්යාත්මකතාව, හා දේශීය සංස්කෘතිය කෙරෙහි ගැඹුරු ගෞරවයක් තැබූ ඇය, ඒ ඒ පරිසර සමඟ සහයෝගීව අනුකලනය වන ශ්‍රී ලාංකික ශිල්ප ක්‍රමවලින් අභාසය ලැබුවාය.

හැකි කෙනෙක්ටම හොඳින් සැලසුම් කළ හා ජීවත්විය හැකි නිවසක් තිබීමේ වැදගත්කම අවධාරණය කළ ද සිල්වා, වාස්තු විද්‍යාත්මක ප්‍රයත්න හරහා දැරිය හැකි මිලකට නවාතැන් පහසුකම් සපයා ගැනීම වෙනුවන් පෙනී සිටියා ය. ඇය සමාජ වගකීම පිලිබඳ දැක්වූ කැපවීම ඇගේ නිර්මාණ කටයුතුවලට ද පැතිරුණු අතර, ජීවන තත්ත්වය ඉහළ නැංවීමට වාස්තු විද්‍යාවට ඇති හැකියාව පිළිබඳ ඇය තුළ තිබූ ගැඹුරු විශ්වාසය එහි ප්‍රතිඵලයකි.

ශ්‍රී ලංකා නූතන හා සමකාලීන කලා කෞතුකාගාරයේ (MMCA ශ්‍රී ලංකා) 2024 ජූලි 7 දක්වා සංදර්ශිත ‘අක්කර 88: මිනෙට් ද සිල්වා විසින් කළ වටපුළුව නිවාස යෝජනා ක්‍රමය’ ප්‍රදර්ශනය, බහුවිධ රාජ්‍ය සේවකයින් ප්‍රජාවකට දැරිය හැකි මිලකට නවාතැන් පහසුකම් සපයා දීමේ ඇයගේ දූරදර්ශී ප්‍රවේශය පිළිබඳව අවධානය යොමු කරමින්, ශ්‍රී ලංකාවේ සමාජ සවිඥානක වාස්තු විද්‍යාවේ පුරෝගාමියෙකු ලෙස ඇයව ස්ථානගත කරයි.


පහත රට හිස වෙස් පැලඳීම

ජනාදරී කලායතනය විසින් පවත්වන ලද පහතරට සාම්ප්‍රදායික කලඑළි මංගල්‍යය පසුගියදා කඩවත ගල්ඒදණ්ඩ රජමහා විහාරයේදී පැවැත්වුණි.

දරු දැරියන් දහ දෙනෙකු මෙදින හිස වෙස් සහ ශීර්ෂාභරණ පැලැන්දීය. මින් පෙර ද හිස වෙස් පැලඳවීමේ මංගල්‍යය දෙකක් මෙම කලා ආයතනය විසින් සිදු කරන ලදි.


තාමත් මතකයි හෙට

ලොවක් සනහාලූ ශ්‍රී ලාංකේය ගීත ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය උදෙසා විශාල සේවාවක් කළ ප්‍රවීණ ගායන ශිල්පීන් වූ සී. ටී ප්‍රනාන්දු, වොලී බැස්ටියන්, ඇන්ටන් ජෝන්ස්, පෝල් ප්‍රනාන්දු, ක්ලැරන්ස් විජේවර්ධන යන ගායන ශිල්පීන් සිහිපත් කරමින් නලින් පෙරේරා ප්‍රමුඛ මේරියන්ස් සංගීත කණ්ඩායම ඉදිරිපත් කරනු ලබන ‘තාමත් මතකයි’ සජීවී ප්‍රසංගය හෙට (11) සන්ධ්‍යාවේ බණ්ඩාරනායක අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ.


“කොළඹ සන්නිය” අද

ඉසුරු ලොකුහෙට්ටිආරච්චි විසින් මෙහෙයවනු ලබන ඇඩෝ ඉවෙන්ට්ස් සමඟ විරාජ් මාලිංග ඉදිරිපත් කරන “කොළඹ සන්නිය” ප්‍රසංගය අද (10) වැනිදා විහාරමහාදේවි එළිමහන් රංග පීඨයේදී පැවැත්වේ. සරිත්, සුරිත් සමඟ නිව්ස් සංගීත කණ්ඩායම සංගීතයට එක්වෙයි. ඉරාජ්, වස්ති සමඟ හනා යන ගායන ශිල්පීහු රැසක් ප්‍රසංගය වර්ණවත් කරති.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT