කුලී හේවායන් ලෙස රුසියාවට මෙරට විශ්‍රාමික හමුදා සාමාජිකයන් රැගෙන යෑමේ ජාවාරම සම්බන්ධයෙන් කුරුණෑගලදී අත්අඩංගුවට ගනු ලැබුවේ විශ්‍රාමික මේජර් ජෙනරල් රණරාජ රණවක බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළෙඳාම, ජාවාරම් විමර්ශන හා සමුද්‍රීය අපරාධ විමර්ශන අංශ සඳහන් කරයි.
අංක 169, වෙළගොල්ල වත්ත, කුරුණෑගල ලිපිනයේ පදිංචිව සිටි විශ්‍රාමික මේජර් ජෙනරල් දැල්කඳුරේ ආරච්චිලාගේ රණරාජ රණවක නමැති 59 හැවිරිදි වියේ පසුවන ඔහුව අත්අඩංගුවට ගනු ලැබුවේ පෙරේදා (08) රාත්‍රී කාලයේදී බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළෙඳම, ජාවාරම් විමර්ශන හා සමුද්‍රීය අපරාධ විමර්ශන අංශයේ සහකාර පොලිස් අධිකාරී ජනකාන්ත මහතා සඳහන් කළේය.
කුලී හේවායන් ලෙස රුසියාවට මෙරට විශ්‍රාමික හමුදා සාමාජිකයන් රැගෙන යෑමේ ජාවාරමට සම්බන්ධව සිටින්නේ මේජර් ජෙනරාල්වරයා ප්‍රසන්න රණවක ලෙස මුලින් කියැවුණත් සැබෑ ලෙසම ඔහු දැල්කඳුරේ ආරච්චිලාගේ රණරාජ රණවක නමැති විශ්‍රාමික මේජර් ජෙනරාල්වරයා බව සහකාර පොලිස් අධිකාරී ජනකාන්ත මහතා සඳහන් කළේය. මේජර් ජෙනරල් ප්‍රසන්න රණවක මෙම සිදුවීමට කිසිදු සම්බන්ධයක් නැති බව ද ඔහු කීය. මෙම විශ්‍රාමික මේජර් ජෙනරාල් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරනතුරුම මෙම ජාවාරම සිදුකරනු ලබන රණවක නමැති මේජර් ජෙනරාල්වරයා රණරාජ රණවක බව නොදැන සිටි බව ද සහකාර පොලිස් අධිකාරී ජනකාන්ත මහතා පැවසීය.
අත්අඩංගුවට ගත් රණරාජ රණවක නමැති මෙම සැකකාර මේජර් ජෙනරාල්වරයා විශ්‍රාමික හමුදා සාමාජිකයන් රුසියාවේ කුලී හේවායන් ලෙස යොමු කරන ජාවාරමේ ප්‍රධානියකු බව විමර්ශනවලින් හෙළි වී ඇතැයි ද සහකාර පොලිස් අධිකාරීවරයා පැවසීය.
මෙම සැකකරු හමුදා සේවයෙන් විශ්‍රාම ගොස් ඇත්තේ 2019 වසරේදී බව ද විමර්ශනවලින් අනාවරණය වී ඇත.
මේ වන විට මෙම රණරාජ රණවකට එරෙහිව තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබෙමින් ඇති බව ද සහකාර පොලිස් අධිකාරීවරයා වැඩිදුරටත් පැවසීය.
“දිනමිණ” පුවත්පත මේ සම්බන්ධයෙන් ඊයේ (09) පළ කළ ප්‍රවෘත්තියේ විශ්‍රාමික මේජර් ජෙනරාල් ප්‍රසන්න රණවක මහතාගේ නම සටහන්ව තිබුණු අතර ඒ සම්බන්ධයෙන් ඒ මහතා අපහසුතාවට ලක්වීම පිළිබඳව අපගේ බලවත් කනගාටුව මෙසේ පළ කරමු.