රුපියල් පනස් පන්දහසක මුදලක් හා වටිනා ලිපි ලේඛන රැසක් සහිතව මහමඟ වැටී තිබියදී ත්‍රිරෝද රථ රියැදුරකු විසින් අහුලාගත් මුදල් පසුම්බියක් මාලබේ පොලිසියේ මැදිහත්වීමෙන් ඉකුත් දා එහි නියම හිමිකරුට භාර දීම සිදු විය.
තලංගම උතුර ස්වර්ණ පෙදෙසේ චමින්ද බණ්ඩාර කරඳවල නමැති ත්‍රිරෝද රථ රියැදුරු මාලබේ නගරය හරහා සිය ත්‍රි රෝද රථය පදවමින් සිටියදී මාලබේ ඉන්ධන පිරවුම්හල අසල දුනුකඩේ ඉදිරිපිට මහමඟ වැටී තිබී මුදල් පසුම්බියක් අහුලාගෙන තිබේ.
පසුව ඔහු එය පරීක්ෂා කිරීමේදී ඒ තුළ රුපියල් 55,000 මුදලක් , අෙමරිකානු ඩොලර් එකක්, ආදායම් බලපත්රයක්, රක්ෂණ සහතිකයක්, රියැදුරු බලපත්රයක්, ජාතික හැඳුනුම්පතක් තිබී හමු වූ බවත් ක්ෂණයකින් ඔහු එය මාලබේ පොලිසියට භාර දීමට කටයුතු කර තිබුණි.
ඒ අනුව මාලබේ පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රසාද් රත්නායක මහතා මුදල් පසුම්බියේ තිබූ ජාතික හැඳුනුම්පතේ ලිපිනයට අනුව වැලිමඩ දික්කපිටියේ පදිංචි ඉෂාර මධුසංඛ නමැත්තාට පොලිස් නිවේදනයක් හරහා දැනුම් දී තිබේ.
ඒ අනුව මාලබේ පොලිස් ස්ථානයට පැමිණි මුදල් පසුම්බියේ නියම හිමිකරුට ත්‍රිරෝද රථ රියැදුරු අතින් මුදල් පසුම්බිය භාර දීම සිදු විය.