තරුණයන් දෙදෙනකු පැද වූ යතුරුපැදි දෙකක් ඊයේ (5) අලුයම මිරිහාන නව රෝහල මාර්ගයේ කිඹුලාවල ප්රදේශයේදී මුහුණට මුහුණ ගැටී සිදු වූ අනතුරින් දෙදෙනාම මියගොස් ඇතැයි මිරිහාන මූලස්ථාන පොලිසිය පවසයි.
අනතුරින් මියගොස් ඇත්තේ කෝට්ටේ, මිරිහාන, මුත්තේට්ටුව පාර පදිංචිව සිටි විශ්ව සෙන්සද දේවන්ත (20) හා කෝට්ටේ, මාදිවෙල, රාහුල පාර පදිංචිව සිටි මයුර ආලෝක (18) නමැති තරුණයන් දෙදෙනායි. යතුරු පැදි දෙක එකිනෙක ගැටීමත් සමඟම එක් යතුරු පැදියක් ගිනිගෙන ඇතැයි පොලිසිය පැවැසීය.
සිදුවූ අනතුරින් බරපතළ තුවාල ලද එක් තරුණයකු ජයවර්ධනපුර රෝහලටත් අනෙක් තරුණයා කළුබෝවිල ශික්ෂණ රෝහල වෙතත් ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇතැයි පොලිසිය සඳහන් කළේය.
මියගිය විශ්ව නමැති තරුණයා නව රෝහල දෙස සිට කිඹුලාවල දෙසට මාර්ගයේ දකුණු පසට බරව යතුරුපැදිය පදවාගෙන යමින් සිටියදී මියගිය ආලෝක නමැති තරුණයා පදවාගෙන ගිය අංක තහඩු නොමැති යතුරු පැදිය කිඹුලාවල දෙස සිට නව රෝහල දෙසට මාර්ගයේ දකුණු පසට බරව පදවාගෙන යමින් සිටියදී එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
මියගිය විශ්ව නමැති තරුණයාට රියැදුරු බලපත්රයක් නොමැති බවට පොලිස් විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණය වී ඇත. මෙම තරුණයන් දෙදෙනා යතුරුපැදි තරගයට ඒ මේ අත පැදෙව්වේදැයි සැකයක් පවතින බව ද පොලිසිය පැවැසීය. පැදිකරුවන් දෙදෙනාගේම අපරික්ෂාකාරී රිය ධාවනය අනතුරට හේතු වී ඇති බව පොලිසිය කියයි.
මිරිහාන මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක මංජුල තුෂාර මහතාගේ උපදෙස් මත රථ වාහන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නීල් චමින්ද මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි.