වසර සියයකට වැඩි ඉතිහාසයක් පවතින තවමත් ප්‍රයෝජනයට ගත හැකි රජයේ ගොඩනැඟිල්ලක් බදුල්ල නගරයට ආසන්නයේ විනාශයට පත්ව යන බවට ප්‍රදේශවාසීහු කියා සිටිති.
මෙම ගොඩනැඟිල්ල බදුල්ල ශික්ෂණ රෝහලට ආසන්නයේ පිහිටි විමලධර්ම මාවතේ පිහිටා තිබේ. එම මාර්ගයේ එකම ගෘහ නිර්මාණ ආකෘතියකට සකසා ඇති ගොඩනැඟිලි දෙකක් කලක සිට ගරාවැටීමට පටන්ගෙන තිබූ අතර ඉන් එක් ගොඩනැඟිල්ලක් හිටපු බදුල්ල බටහිර වසමේ ග්‍රාම නිලධාරි නසිර් මහතාගේ මැදිහත්වීම මත ලබාගෙන එම වසමට අයත් ග්‍රාම නිලධාරි, සමෘද්ධි නිලධාරි, කෘෂි සංවර්ධන නිලධාරි ඇතුළු වසමේ රාජ්‍ය නිලධාරීන්ගේ කාර්යාල මේ වන විට පවත්වාගෙන යාමට කටයුතු කර ඇති බව ද ඔවුහු පැවසූහ.
ඊට යාබදව ඇති අනෙක් ගොඩනැඟිල්ල පිළිබඳ මීට වසර කිහිපයකට පෙර මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමෙන් අනතුරුව එය රජයේ ප්‍රකාශන දෙපාර්තමේන්තුව වෙත වෙන් කර ඇති බව පවසමින් එහි බැනරයක් ප්‍රදර්ශනය කර තිබූ බවත් ගොඩනැඟිල්ල හා අවට භුමිය සුද්ධ පවිත්‍ර කිරීම් ද කළ බවත් ඔවුහු තවදුරටත් පවසා සිටිති.
එහෙත් ඉන්පසුව එම ගොඩනැඟිල්ල කිසිඳු ආකාරයකින් ප්‍රයෝජනයට නොගෙන නැවත කැලෑවට යටවීමට ඉඩ හැර ඇති අතර එහි ජනෙල්වල සවිකර තිබූ යකඩ කම්බි කුරුද කිසියම් පිරිසක් විසින් මේ වන විට ගලවාගෙන ගොස් ඇති ආකාරය දක්නට ලැබේ.
නගර ආසන්නයේ පිහිටි මෙම පාළු ගොඩනැඟිල්ල තුළ රාත්‍රී කාලයේ විවිධ අපචාර සිදුවිය හැකි බවත් ඔවුහු පෙන්වා දෙති.
බදුල්ල නගරයේ පෞද්ගලික ගොඩනැඟිලි කුලියට ගෙන සමහර රාජ්‍ය ආයතන පවත්වාගෙන යන බව දක්නට ලැබෙන අතර මෙම කැලෑවට යටවීමට ඉඩහැර තිබෙන රජයේ ගොඩනැඟිල්ල ප්‍රතිසංස්කරණය කර එලෙස කුලියට ලබාගත් ගොඩනැඟිල්ලක පවත්වාගෙන යන රාජ්‍ය ආයතනයක් එම ස්ථානයට ගෙන ඒමට කටයුතු කළහොත් විශාල රාජ්‍ය මුදල් ප්‍රමාණයක් ඉතිරි කර ගැනීමට හැකිවෙනු ඇතැයි ද ජනතාව කියා සිටිති.