දර්ගා නගරය දන්වත්තගොඩ මං සන්ධිය ආසන්නයේ දක්ෂිණ අධිවේගී ප්‍රවේශ මාර්ගයේ ගමන්ගත් ත්‍රිරෝද රථයක ක්ෂණිකව මාර්ගය හරහා නිදැල්ලේ සිටි එළ හරකෙකු පැනීමෙන් එම ත්‍රිරෝද රථය ධාවනය කළ පුද්ගලයා ඇතුළු පවුලේ තිදෙනකු අනතුරට පත් කරමින් ත්‍රිරෝද රථයට ද බරපතළ හානි සිදුව ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අලුත්ගම පොලිසියට පැමිණිලි කර තිබේ.
මෙලෙස මෙම ප්රදේශයේම නිදැල්ලේ ගැවසෙන අයිතිකරුවන් සිටින ගවයන්ගෙන් සිවුවන අනතුරු බව එම ප්රදේශයේ පදිංචිකරුවකු වූ පරිසරවේදී අනුර ද සිල්වා මහතා සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් පැවසීය.

ගව අනතුරෙන් තුවාල ලැබ සිටින කේ.රොහාන් මහතා.
ඊයේ (5) සිදුවූ ගව අනතුරෙන් දරුණු තුවාල ලබා ඇති අතර ඔහුගේ ත්‍රිරෝද රථයට ද බරපතළ හානි සිදුව තිබේ. මෙසේ අනතුරට පත්ව ඇත්තේ දර්ගා නගරය කැප්පෙට්ටිය ගහලද ප්රදේශයේ පදිංචි කේ. රොහාන් මහතා ඇතුළු පවුලේ අයවලුන්ය.
අලුත්ගම දක්ෂිණ අධිවේගී ප්‍රවේශ මාර්ගයේ තිස් එකේ කණුව, දන්වත්තගොඩ ප්රදේශය නිරන්තර නිදැල්ලේ ගැවසෙන ගවයන්ගෙන් මාර්ගයේ ගමන් ගන්නා රථවාහනවලට මෙන්ම පුද්ගලයන්ටද හානි සිදුවන ප්රදේශයක් බව එම ප්රදේශවාසීන් ද පෙන්වා දෙයි.
මෙලෙස නිදැල්ලේ ගැවසෙන ගවයන් දර්ගා නගරය ප්‍රදේශ පදිංචි මුස්ලිම් ජාතිකයන්ගේ බවට හඳුනාගෙන තිබෙන බවත් ඒ අයිතිකරුවන් එම සතුන්ම නිදැල්ලේ මුදා හැරීමෙන් මාර්ගය දිගේ ඇවිදගෙන යාමට මෙම සතුන් පුරුදුව ඇති බවයි එම සිද්ධිය ඇසින් දුටු ප්රදේශවාසීන් වැඩිදුරටත් සඳහන් කළේ.
මෙම අනතුරෙන් එම ත්‍රිරෝද රථය අසල වෙලකට පෙරළී ගිය බවත් තමන්ට මෙන්ම බිරිඳ හා දරු දෙදෙනාටත් තුවාල සිදුවූ බවත් එම අවස්ථාවේ ප්රදේශවාසීන් මැදිහත්ව තමන්ව එම වෙලෙන් ගොඩට ගත් බවත් එම අනතුරට පත් ත්‍රිරෝද රථයයේ හිමිකරු පැවසීය.
එම අනතුර පිළිබඳ අලුත්ගම පොලිසියේ රථවාහන අංශය දැනුම්වත් කර එම එළ ගවයාගේ අයිතිකාර පාර්ශ්වය සොයා කිසියම් සාධාරණ ක්රියාමාර්ගයකට එළැඹෙන ලෙස එම ප්රදේශයේ පොලිස් මහජන ආරක්ෂක කමිටුවේද අවධානයට ලක් කරයි.
මෙලෙස නිදැල්ලේ මහමඟ ගැවසෙන ගවයන්ගෙන් මහජනතාවට සිදුවන අනතුරු හා පීඩාවන් පිළිබඳ බේරුවල ප්රාදේශීය සභාවේ ලේකම් අශෝක රණසිංහ මහතාගෙන් කළ විමසීමේදී ඒ මහතා සඳහන් කළේ. මෙවැනි ගවයන්ව නිදැල්ලේ නොහැර ගැට ගසා තබා ගන්නා ලෙස ප්රාදේශීය සභා බල ප්රදේශය පුරා ප්රචාරක රථයක් මගින් දැනුම්වත් කිරීම ප්රථමයෙන් සිදුකර ඊට අනුගත නොවුණහොත් එම ගවයන් බේරුවල ප්රාදේශීය සභාව මැදිහත්ව අල්ලා එක තැනකට රැස්කර ගව අයිතිකරුවන්ට නීති මගින් කටයුතු කරන වැඩපිළිවෙළක් ඉදිරි සතියේම ක්රියාත්මක කරන බව ඒ මහතා පැවසීය.