දළුගම හා අවට පෙදෙස්වල ගෙවල් බිඳුම් පහකට වැඩි ප්‍රමාණයක් සිදු කළ ‘සුද්දා’ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන පුද්ගලයකුව කිරිබත්ගොඩ පොලිසිය මඟින් පසුගිය 3 වැනිදා මත් කුඩු සමඟ අත්අඩංගුවට ගෙන ඇත.
එමෙන්ම මොහු විසින් එම නිවෙස්වලින් සොරකම් කරන ලද රුපියල් ලක්ෂ හතළිහක් පමණ වටිනා රන් ආභරණ පවුම් 25ක් පමණ ඔහුගේ සගයකුගේ මාර්ගයෙන් ජා – ඇළ ප්‍රදේශයේ රන් ආභරණ අෙලවි සැලකට විකුණා තිබියදී සොයාගෙන ඇති අතර, ඒ සමඟම එම සගයා ද පොලිස් භාරයට ගෙන තිබේ.
මොහු කොහල්විල ප්‍රදේශයේදී සැකපිට අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඔහු ළඟ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 16 මිලි ග්‍රෑම් 600ක් හමු වී ඇති අතර, පසුව අවට සී.සී.ටී.වී කැමරා නිරීක්ෂණය කොට ඔහුගෙන් දිර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේදී මේ ගෙවල් බිඳුම් සම්බන්ධව අනාවරණය කර ගැනීමට හැකි වී තිබේ. මොහු රාත්‍රී කාලයේ නිවෙසියන් නිදා සිටියදී ජනේල හා වහලවලින් එම නිවාසවලට ඇතුළු වී ඒවායේ තිබෙන මුදල් හා රන් ආභරණ රැගෙන ගොස් තිබෙන අතර, එම මුදල් මත්කුඩු පානය කිරීම සඳහා වැය කර තිබේ. මොහු කොහල්විල ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිටින 43 හැවිරිදි පුද්ගලයකු වන අතර, ඔහුගේ සගයා යක්කල ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පුද්ගලයෙකි.
අත්අඩංගුවට ගත් මොහු අධිකරණයෙන් රැඳවුම් නියෝග ලබාගෙන තවදුරටත් ප්‍රශ්න කිරීමට කටයුතු කරගෙන යයි.
කිරිබත්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුසන්ත කුමාර මහතාගේ උපදෙස් අනුව එහි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක රෝහණ නන්දසිරි, පොලිස් සැරයන් (2725) සිසිර, පොලිස් කොස්තාපල්වරුන් වන (82436) ලක්මාල්, (20689) සුගන්ද, (79778) පත්මසිරි හා කාන්තා පොලිස් කොස්තාපල් (8412) නිලූකා යන නිලධාරීහු මේ වැටලීමට එක්ව සිටියහ.