ප්‍රේම සම්බන්ධතාවක් මුල්කර ගනිමින් වේයන්ගොඩ ප්‍රදේශයේ මහා විද්‍යාලයක 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවකු විසින් එම පාසලේම 9 ශ්‍රේණියේ සිසුවකුට එල්ල කළ පිහි පහරකින් තුවාල ලැබූ සිසුවා වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි වේයන්ගොඩ පොලිසිය කියයි.
10 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවා එම පන්තියේම සිසුවියක සමඟ ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන ගොස් ඇති අතර, පාසලේ 9 ශ්‍රේණියේ ඉගෙනුම ලබන පහරකෑමට ලක් වූ සිසුවා ද එම සිසුවිය සමඟ පෙම් සබඳතාවක් ගොඩනඟාගෙන ඇත. මේ සම්බන්ධය පිළිබඳව දැනගත් 10 ශ්‍රේණියේ සිසුවා පසුගිය 3 වැනිදා පාසලේදී සහ පාසල නිම වීමෙන් අනතුරුව පාසල ඉදිරිපිටදී ද 9 ශ්‍රේණියේ සිසුවාට පහර දී ඇති බව විමර්ශනවලදී හෙළි වී තිබේ. පහර කෑ සිසුවා පසුව නිවෙසට ගොස් නැවත එදින (03) පස්වරුවේ වේයන්ගොඩ නයිවල ප්‍රදේශයට පැමිණ ඇති අතර, එහිදී 10 ශ්‍රේණියේ සිසුවා ඔහුගේ පන්තියේම තවත් සිසුන් පිරිසක් සමඟ පැමිණ නැවත 9 ශ්‍රේණියේ සිසුවාට පහර දී ඇති අවස්ථාවේ 10 ශ්‍රේණියේ සිසුවාගේ මිතුරකු 9 ශ්‍රේණියේ සිසුවාට පිහියකින් පහර දී ඇතැයි පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇත. පිහි පහරින් උරහිස ප්‍රදේශයට තුවාල සිදු වූ 9 ශ්‍රේණියේ සිසුවා වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කර තිබේ.
රෝහල් පොලිසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වේයන්ගොඩ පොලිසියට කළ දැනුම්දීමකට අනුව වේයන්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අසංක රංගන මහතාගේ උපදෙස් මත සිද්ධිය සම්බන්ධ විමර්ශන ආරම්භ කර ඇත. සිද්ධියට අදාළ 10 ශ්‍රේණියේ සිසුවා සහ පිහි පහර එල්ල කළ එම සිසුවාගේ මිතුරා නිවෙස්වලින් පලා ගොස් ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය පරීක්ෂණ පවත්වයි.