අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය විභාග මධ්‍යස්ථාන 3527ක දී අද (06) ආරම්භ කෙරේ. විභාගයට අදාළව සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 535ක් සහ ප්‍රාදේශීය එක් රැස් කිරීමේ මධ්‍යස්ථාන 33ක් ක්‍රියාත්මක කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ‘දිනමිණ’ට ඊයේ (05) පැවැසීය.
සාමාන්‍ය පෙළ විභාගයට අදාළ ප්‍රශ්න පත්‍ර බෙදා හැරීම පසුගියදා (03) සිදුකෙරිණි. මේ දිනයන්හි ඇතැම් ප්‍රදේශවලට ඇති වන වර්ෂා තත්ත්වයත් සමඟ හදිසි ආපදා තත්ත්වයන් ඇති වුවහොත් ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදු කිරීමට ද සැලසුම් කර ඇති බව ඒ මහතා පැවසුවේය. වර්ෂාව නිසා කිසියම් සිසුවකුට විභාගය පවත්වන මධ්‍යස්ථානය වෙත ළඟා වීමට අපහසුතාවක් ඇති වුවහොත් 117 ක්ෂණික දුරකතන අංකය අමතා ඒ බව දැනුම් දිය හැකි බව ද ඒ මහතා කීය. සාමාන්‍ය පෙළ විභාගය සඳහා මෙවර අපේක්ෂකයන් 452, 979ක් පෙනී සිටින අතර පාසල් අයදුම්කරුවන් 387, 648ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 65, 331ක් විභාගයට අයදුම් කර ඇත. මේ අතර අද (06) ඇරඹෙන අ.පො.ස.සාමාන්‍ය පෙළ විභාගය සඳහා රැඳවූවෝ 07 දෙනෙක් පෙනී සිටිති. මෙයින් 06 දෙනෙක් වටරැක බන්ධනාගාරයේ සුනීත පාසලේ සිසුන් වන අතර, විභාග දෙපාර්තමේන්තුව මඟින් එම බන්ධනාගාරයේ ස්ථාපනය කර ඇති විභාග මධ්‍යස්ථානයේදී ඔවුහු සා.පෙළ විභාගයට පිළිතුරු ලියති. එමෙන්ම මෙයට දින කීපයකට පෙර අධිකරණය මඟින් කොළඹ මැගසින් බන්ධනාගාරයට යොමු කළ රිමාන්ඩ් සිරකරුවකු ද මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අතර අධිකරණයේ අවසරය මත, ඔහු කොළඹ පාසලක ස්ථාපිත විභාග මධ්‍යස්ථානයකදී (ඔහු පෙර අයදුම් කර ඇති ප්‍රදේශයට අයත් )පිළිතුරු ලිවීම සිදු කරයි. මේ අතර සාමාන්‍ය පෙළ වරම් ලත් වටරැක සුනීත පාසලේ සිටි රැඳවූවන් දෙදෙනෙක් පසුගිය දා නිදහස ලබා ඇති අතර ඔවුන් සාමාන්‍ය පෙළ විභාගයට අයදුම්පත් යැවූ ලිපිනය වටරැක බන්ධනාගාරය බැවින් එම සිසුන් දෙදෙනා ද වටරැක බන්ධනාගාරයේ ස්ථාපිත විභාග මධ්‍යස්ථානයේදී මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින බව බන්ධනාගාර කොමසාරිස්, මාධ්‍ය ප්‍රකාශක ගාමිණි දිසානායක මහතා ‘දිනමිණ‘ට කීය.