සිදු වන විපත්වලින් රට බේරා ගන්නට සිටි අතළොස්සක් පිරිස අතරේ මේ රටේ ජනතාව තුළට ජාතික මතවාදයක් ගෙන යමින් චින්තන විප්ලවයක් කරන්නට පෙරමුණ ගත් ආචාර්ය නලීන් ද සිල්වා මහතා රටට අහිමි වූණේ අවශ්‍යම මොහොතේදී යැයි කොළඹ බෞද්ධාලෝක මාවතේ ධර්මායතනාධිපති ඇල්ලේ ගුණවංශ හිමියෝ පැවැසූහ.
උන්වහන්සේ මේ බව පැවැසුවේ අභාවප්‍රාප්ත ආචාර්ය නලීන් ද සිල්වා මහතා වෙනුවෙන් මෙරටදී පාංශුකූලය දීමට සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලන මූලස්ථානයේදී භික්ෂූන් වහන්සේලා සියක් නමකගේ ප්‍රධානත්වයෙන් පැවති පින්කමට ඊයේ (05) එක් වෙමිනි.
එහිදී උන්වහන්සේ මෙසේ ද අනුශාසනා කළහ.

උත්සවයට සහභාගී වූ මහා සංඝරත්නයෙන් කොටසක්
“මගේ ජීවිතයේ මම බොහෝ සේ දුක් වු දවසක් මේ. මහාචාර්ය නලීන් ද සිල්වා මහතා පාණදුරේ, වෑකඩ ඉපදිලා, තම මව අධ්‍යාපන කටයුතු සිදු කළ පාසලේම අධ්‍යාපනය ලබා තර්ස්ටන් විද්‍යාලයට පැමිණ පස් වැනි ශ්‍රේණියේ සිට කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළත්ව අධ්‍යාපනය ලබනවා. ගණිතය විෂය තමයි ඔහු ප්‍රියතම විෂය වුණේ. පාසලේ විවාද කණ්ඩායමේ නායකයා ලෙසත් ඔහු ක්‍රියා කළා. පසුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත්ව උපාධිය ගෙන බ්‍රිතාන්‍යයේ සසෙක්ස් විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණා. ඔහුට එහිදී වසර තුනකින් නිමා කළ යුතු නිබන්ධනය ඔහු වසර එක හමාරකින් අවසන් කරනවා. වසර එක හමාරකින් එය අවසන් කර ඔහුගේ මහාචාර්යවරයාට නිබන්ධනය දෙනවා කැමැත්තක් කරන්න කියලා. මහාචාර්යවරයා පුදුමයට පත් වෙලා සනාතන සභාවට කතා කරඔහුට ආචාර්ය උපාධිය දෙනවා. පසුව ඔහු ලංකාවට එන අවස්ථාවේ පොඩි ලියුම් කෑල්ලක් අතට දෙනවා. ඒ ලියුම් කෑල්ලේ තිබෙන්නේ ඔබ ඔබේ රටට විශාල ගෞරවයක් කියලයි.
නලීන් ද සිල්වා මහතා කොහොම හිතුවත් අවශ්‍ය මිනිසුන් ඔහුට ගරු කළා. මමත් ගරු කළා. ඔහු කිවුව දේවල් දේශප්‍රේමී ජනතාව ඇහුම්කන් දුන්නා. මේ තරම් බරපතළ, භයානක තත්ත්වයකට මේ රට පත් වෙලා තිබුණෙ නෑ. අපේ සම්පත් රාශියක් මේ වෙනකොට තර්ජනයට ලක් වෙලා තිබෙනවා. භූමි සම්පත, වන සම්පත, ජල සම්පත ආදී හැම සම්පතක්ම දැඩි තර්ජනයකට පත් වෙලා තිබෙනවා. ඒ නිසා නලීන් ද සිල්වා මහතා සිටිය යුතුව තිබුණේ අදයි. ඔහුගෙන් හිස් වු තැන පුරවන්න මේ ඉන්න තරුණ දේශපාලනඥයන් අධිෂ්ඨාන කර ගත යුතුයි. ඔහුගෙන් ඉගෙන ගත් ඔහුගෙන් දොස් අහපු පොඩි හාමුදුරුවරුත් ඉන්නවා. උන්වහන්සේලත් නලීන් ද සිල්වා මහතාගේ අදහස් ගරු කළ යුතුයි. ස්වාමීන් වහන්සේලා ජාතියේ මුර දේවතාවුන් වහන්සේලා කියලා ලෝකයේ අන්වර්ථ නාමයකින් හඳුන්වන්නේ අපේ රටේ පමණයි. පොඩි හාමුදුරුවන් වහන්සේලා එකතුව මේ උතුම් මාතෘ භූමිය, ජාතිය, ආගම රැක ගන්න කටයුතු කළ යුතුයි.
ජාතියත්, ආගමත්, රටත් දැඩි තර්ජනයක තිබෙන බව විතරයි කියන්නෙ. අවුරුදු 2500ක් පැරණි පක්ෂ දෙකක් තමයි මේ රට ආරක්ෂා කළේ. ඒ ගිහි සහ පැවිදි කියන පක්ෂ දෙකයි. ඒ පක්ෂ දෙක දැන් එක්විය යුතුයි. ඒ පක්ෂ දෙක එකතුව දේශපාලනඥයන්ට අණ දිය යුතුයි. ඔවුන්ට අණ දී මේ ආදරණීය මාතෘ භූමිය ආරක්ෂා කළ යුතුයි. නලීන් ද සිල්වා මහතා මගේ පන්සලට වැඩියෙන්ම එන්න ඇති. ජාතික මතවාදය ගෙන ගොස් මේ රට බේරා ගන්න අපට විශාල පිරිසක් සිටියේ නෑ. ඔහු මේ රටේ ජනතාව තුළ චින්තන විප්ලවයක් ඇති කිරීමට කතා කළා සහ ලිවුවා. ඔහු සමහර විට දුක් වුණා ඔහු ලියන කියන දේ කියවන්නේ නෑ කියලා. නමුත් කියෙවුවා. ඒ කියෙවුවත් විවිධ දේශපාලන, ආර්ථික අපහසුකම් නිසා අද අපේ ජනතාවට ශක්තියක් නෑ. අපේ රට අපට අහිමි කිරීමට මේ වෙනකොට කටයුතු සම්පාදනය වෙමින් පවතිනවා.”
බෙංගමුවේ නාලක හිමි

අභාවප්‍රාප්ත නලීන් ද සිල්වා මහතා වෙනුවෙන් පින් පැමිණවීමේ කටයුතු සිදුකරන අයුරු
“රට, ජාතිය, සම්බුද්ධ ශාසනය වෙනුවෙන්ම ක්‍රියා කළ, කතා කළ සහ ලිපි ලේඛන ලියූ, ඒ පිළිබඳවම සිතූ මහා පඬිරුවනක් ආචාර්ය නලීන් ද සිල්වා මහතා කියලා කියන්නෙ. ඔහු සමඟ අවුරුදු 40ක් එකට බැඳී අපි කටයුතු කළා. ඒ මහතාගේ වචන අහපු අය සමහර විට ඔහු හඳුනන්නේ නෑ. ඔහුගේ ලේඛන බලපු අයත් ඔහුව හරියට අඳුනනවා ඇති කියලා මම හිතන්නේ නෑ. ඔහු සමඟ ඇසුරු කළ අපි ඔහුගේ හදවත හොඳින්ම හඳුනාගෙනයි හිටියෙ. ඔහුගේ අදහස් උදහස් ඉදිරිපත් කිරීමේදී කටුක බවක් සමහර විට දැනෙන්න පුළුවන්. එහෙම කියන්න ඕනෙ නිසා තමයි එහෙම කිවුවෙ. අරමුණ වුණේ අපේ රටේ අනන්‍යතාව වෙනුවෙන් පෙනී සිටීම. අපේ අනන්‍යතාව වෙන කිසිවක් නෙමෙයි සිංහල බෞද්ධකම. ඒ වෙනුවෙන් තමයි ඔහු පෙනී සිටියේ. බොහෝ දෙනා බටහිර ගැති ජීවිත ගත කරමින් සිංහල බෞද්ධ අනන්‍යතාවට එරෙහි වන නිසා ඒ මහතාට කතාවේදී සහ ලිවීමේදී කටුක වචන පාවිච්චි කරන්න සිදු වුණා. ඒ සඳහා කිසිම අවස්ථාවක පසුබට වුණෙත් නෑ. පැකිලුණෙත් නෑ. එඩිතරව, අභීතව, අවංකව ඔහු තමාගේ අදහස පළ කළා.
අවුරුදු 79ක් පමණ කාලයක් ජීවත් වෙලා, විවාහ ජීවිතය ඉතාමත්ම සාර්ථකව ගත කර, දරුවන් තුන් දෙනකු මේ සමාජයට බිහි කර, රට ජාතිය ශාසනය වෙනුවෙන් කතා කරමින් සිටි ඒ මහතා අභාවප්‍රාප්ත වුණේ අමෙරිකාවෙදී. සමහරු කියනවා, අමෙරිකාවට බැන බැන ඉඳලා අමෙරිකාවටම මැරෙන්න ගියා කියලා. එහෙම කියන අයත් ඉන්නවා. අපට ඇහිලත් තියෙනවා. ඒක ගැන වෙනම කතා කරන්න ඕනෙ. මම මැරෙන්නේ විදේශයකදී, මගේ දේහය ලංකාවට ගෙන යන්න නොලැබේවා කියලා ඒ මහතා ප්‍රාර්ථනාවක් කර තිබෙනවා. මොකද මා අකමැති අයට මගේ මුහුණ දකින්න ලැබෙනවාට මම කැමති නෑ කියලා ඔහු කියා තිබෙනවා. ඒ නිසා එතුමාගේ ඒ අරමුණ ඉෂ්ට වුණා. නමුත් මම නැවත උපදින්නේ ශ්‍රී ලංකාවේ කියලත් ඒ මහතා කියා තිබෙනවා. ඒ කෙටි අදහස්වලින් ඔහුගේ සම්පූර්ණ ජීවිතය අපට හඳුනාගන්න පුළුවන්.”
රුහුණු රට භික්ෂු පෙරමුණේ සභාපති ඕමාරේ කස්සප හිමි
“උපන්නා වූ සෑම සත්ත්වයකුටම කවදා හෝ කොතැනකදී හෝ කුමන ආකාරයකින් හෝ මුහුණදීමට සිදු වන ධර්මතාවට ආචාර්ය නලින් ද සිල්වා මහතා දැන් මුහුණදී සිටිනවා. ඔහු මියැදෙන බව දැන සිටියා. ඔහුගේ ලිපියක සඳහන් වෙනවා ‘මගේ පියා බලාපොරොත්තු වුණේ මාව වෛද්‍යවරයෙක් කරන්න’ කියලා. නමුත් ඔහු සඳහන් කර තිබෙනවා, ඔහු ගමන් කළ මාර්ගය තමයි දැන් මේ තියෙන්නේ කියලා. අවුරුදු 79ක් 80ක් වෙනකන්ම ඔහු මේ ජීවිතය තුළ ධර්මපාලතුමා ජාතිය වෙනුවෙන් වැඩ කරන්න ගිහින් වින්ඳ දුකට සමාන මට්ටමකින් දුක් වින්ඳා. ඇයි මම එහෙම කියන්නේ. රට වෙනුවෙන් කතා කරලා, රට වෙනුවෙන් ලියලා, රට වෙනුවෙන් අදහස් දීලා, සම්මන්ත්‍රණවලට සහභාගී වෙලා, තමන්ගේ ශිෂ්‍යයන්ට නිවැරදි දැක්මක් ඇති කරලා දැවැන්ත විදියට කටයුතු කළ ඔහුට මේ රටේ සිංහලයන්ම ගහන්න ගත්තා. වෙන අය නෙමෙයි. මේ රටේ සිංහලයන්ම තමයි ගහන්න ගත්තේ. ගැහීමේ ප්‍රතිඵලයක් විදියට ඒ මහතාට රැකියාවත් නැති වෙනවා.
ඔහු ලංකාවේ තාරකා විද්‍යාව පිළිබඳව ප්‍රථම උපාධිධාරියයි. ගණිතය පිළිබඳව මහාචාර්යවරයයි. අන්තිමට රැකියාවක් කරන්න විශ්වවිද්‍යාලයට ඉදිරිපත් වෙන්න නැති කළා. ඔහු වෙන අපරාදයක් කළේ නෑ. ඒ තරමටම සිංහලයා ගැන කතා කළ දේ විතරයි කළේ. සිංහලයා ගැන කතා කළා, බෞද්ධයා ගැන කතා කළා. ඒක තමයි ඔහු කළේ.”
අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා

අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා විසින් නලීන් ද සිල්වා මහතාගේ
ඡායාරූපයට මල් දමක් පැලඳවූ අයුරු
“ආචාර්ය නලීන් ද සිල්වා මහතා ජාතිය පුබුදුවාලු අපේ රටේ ආඩම්බරයයි. ඔහු බුදු දහම අර්ථාන්විතව ගිහියකු ලෙස අප රටවාසීන්ට සහ ලෝකයාට පෙන්වා දුන් උත්තමයෙක් සහ සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතියට රැකුමට සෑම අවස්ථාවකම එඩිතරව කැපවු අපේ බෞද්ධ නායකයෙක් ද වෙනවා. ඔහුගේ වියෝව මේ අවස්ථාවේ විශාල හිඬැසක් අප රටට ඇති කරන බව අප සැවොම පිළිගන්නා කාරණාවක් පමණක් නොව මෙවන් මොහොතක බෞද්ධයන් ලෙස මෙලෙස ගෞරවය දක්වා පින් දීමට අපි එකතුවීම ඒ මහතා වෙනුවෙන් ජාතියට ඉටු කළා වූ ගෞරවනීය ආඩම්බරයක් වෙනවා. ඒ මහතා ජාතියේම ආඩම්බර නායකයෙක් ලෙස නොබියව අදහස් පළ කළා. ජාතිය අඳුරට පත්වන කාල පරිච්ඡේදයකදී අදහස් පළ කළා. ජාතියට පණ දුන්නා. ප්‍රාණවත් කළා. රට අවදි කළා. ඒ උදාර වචන මාලාව නිසාම රටක් යළි යළි නැගිට්ටා.
ඒ වගේම සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරලීමෙහිලා නලීන් ද සිල්වා මහතාගේ හඬ පමණක් නොව ඔහු අතින් නිර්මාණශීලීව සහ තර්කානුකූලව ලියවුණු ලිපි දහස් ගණන්, ලක්ෂ ගණන් ජනතාවට හැම වයසටම කියවන්න පුළුවන් ලෙස එකතු වුණා. අද වන විට තිබෙන ප්‍රධාන පුවත්පත් සියල්ලම ආචාර්ය නලීන් ද සිල්වා මහතාගේ එවන් ඉදිරිපත් කිරීම් දශක දෙක හමාරකට වැඩි කාලයක් භුක්ති වින්ඳා. ඒ නිසාම රට වැසියාට තවත් ශක්තිය දිය හැකි මඟපෙන්වීමක් දෙන්නට නලීන් ද සිල්වා මහතාට අවස්ථාව ලැබුණා. ඒකීය රාජ්‍යයට තර්ජනය කරමින් අප රට මෑත කාලයේ භයානකම අවස්ථාවකට මුහුණ දුන්නු අවස්ථාවේ ඉදිරිපත්වී මඟ පෙන්වූවා. අප ඇතුළු ජාතික ව්‍යාපාරයට සම්බන්ධ සියලු නායකයන් සමඟ අත්වැල් බැඳගෙන කටයුතු කරමින් එය ආපසු හැරවීමට දැවැන්ත මඟපෙන්වීමක් කළා.
පරාජය කළ හැකි දේශ විරෝධී බලවේග පරාජය කරන්නට විරුද්ධවාදීන් සමඟ හැප්පුණා. මේ කාරණාව ආපසු හරවන්නට පුළුවන් කියන මතය ජයග්‍රහණය කොට අපේ රට ආරක්ෂා කරන්නට අපගේ ත්‍රිවිධ හමුදාවන්ට පුළුවන් බව කියා පෑ නොසැලෙන ගතිය අපි මේ අවස්ථාවේ යළි යළිත් ගෞරවයෙන් යුතුව සිහිපත් කරනවා. සිංහලකම, බෞද්ධකම, ශාසනය ආරක්ෂා කරවීමෙහිලා ආචාර්ය නලීන් ද සිල්වා මහතා ඉදිරිපත් කළ ‘මගේ ලෝකය’ වැනි ලිපි ලේඛන ජාතික හා ජාත්‍යන්තරව දැවැන්ත පිළිගැනීමකට ලක් වූ නිසා ලක්වැසියාට ඒ තැන්පත් කළ ජාතික මෙහෙය වෙනුවෙන් යළි ඔබට අපි පින් දෙනවා. මේ සසර ගමනේ අවසානයේ අත්වෙන අනිත්‍ය අවබෝධ කරගෙන තිබුණු ආචාර්යතුමාට එය රටවැසියාට අවබෝධ කර දීමට දීර්ඝ කාලීන වශයෙන් ගත කළ කාලය කුමන විවේචනයන් තිබුණද ඒ හරහා ගමන් කරන්නට බුදු දහමේ ශක්තිය හේතු වාසනාවක් බවට පත්වුණා.
ඒ මහතා අපේ ජාතික වීරවරයෙක් වගේම අපේ බෞද්ධ නායකයෙක් ද වෙනවා. ඒ නිසාම බෞද්ධ සම්මේලනයේ එකඟතාව පළ කළා මේ බෞද්ධ නායකයාගේ මහා පින්කම මේ ස්ථානයේ පවත්වන්න. ඔහුගේ දේහය මෙරටට තවමත් ගෙනැවිත් නෑ. අවසන් කටයුතු කිරීමෙන් අනතුරුව ඉදිරියේදී භෂ්මාවශේෂ රටවැසියාට ගෞරවය දක්වන්නට ගෙන එනවා. ඒ මහතා සමඟ එකට වැඩ කරමින් එතුමා සමඟ දුෂ්කර කාල පරිච්ඡේදයන් හරහා අප සැමට කටයුතු කරන්නට පුළුවන්කම ලැබුණා. මාතෘ භූමිය වෙනුවෙන් සිංහල ජාතියේ පැවැත්ම, බුදු සසුනේ පැවැත්ම, මේ රට අනාගතයට ඉතුරු කරන්නට ඔහු කළ දායාදය මඟපෙන්වීම හා දුන් ශක්තියට මුළු මහත් ජාතියේ ගෞරවය මේ අවස්ථාවේ පුද කරනවා.”
බෙංගමුවේ නාලක හිමියන් සහ ඇල්ලේ ගුණවංශ හිමියන් ඇතුළු මහා සංඝරත්නය සහ අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ මැදිහත්වීමෙන් ද, සියලු ජාතික සංවිධාන හා දේශ හිතෛෂී ව්‍යාපාර එකතුවෙන් ද මේ පාංශුකූල පින්කම සංවිධාන කෙරිණි.
මේ අවස්ථාවට අමරපුර ශ්‍රී ධර්ම රක්ෂිත මහා නිකායේ මහා නායක රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති ත්‍රිකුණාමලයේ ආනන්ද හිමි, කෝන්ගස්තැන්නේ ආනන්ද හිමි, මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි ඇතුළු මහා සංඝරත්නය, හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, රාජ්‍ය ඇමැතිවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති චන්ද්‍ර නිමල් වාකිෂ්ඨ, ආචාර්ය ගුණදාස අමරසේකර, ජාතික සංවිධාන නියෝජිතයන්, ආචාර්ය නලීන් ද සිල්වා මහතාගේ ඥාතීන් ඇතුළු පිරිසක් ද සහභාගී වූහ.
ආචාර්ය නලීන් ද සිල්වා මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ (05) අමෙරිකාවේදී සිදු කෙරිණි.
ඡායාරූප – රංජිත් අසංක