‘‘සිරකරුවෝද මනුෂ්‍යයෝය’’ මෙම පාඨය වැරදි කොට සිරගත වූවන් කෙරෙහි මානව දයාවෙන් සහ අනුකම්පාවෙන් යුතු බාහිර සමාජයේ දෘෂ්ටියයි. බන්ධනාගාර දෙපාර්තමේන්තුව, එහි ක්‍රියාකාරීත්වය, බන්ධනාගාර පිළිබඳව එල්ලවන චෝදනා, ඒවා නිවැරැදි කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග සහ බන්ධනාගාර ආශ්‍රිතව ඇති තවත් කරුණු කාරණා පිළිබඳව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය සමඟ කළ සාකච්ඡාවකි මේ.
බන්ධනාගාර තදබදය පිළිබඳව මේ දිනවල ලොකු කතාබහක් ඇතිව තිබෙනවා. මේ තත්ත්වයට විසඳුම් ලෙස ගෙන ඇති ක්‍රියාමාර්ග මොනවාද?
අපේ රටේ ප්‍රධාන බන්ධනාගාර 28ක් තිබෙනවා. එම බන්ධනාගාරවල රැඳවිය හැකි උපරිම රැඳවියන් ප්‍රමාණය 11,400ක් පමණයි. එහෙත්, අද වන විට මේ බන්ධනාගාර පද්ධතිය තුළ 30,000ක ප්‍රමාණයක් ඉන්නවා. මෙය 300%ක් පමණ වැඩි වීමක්. සරලව කිව්වොත් 100ක් ඉන්න ඕනෑ තැන 300ක් ඉන්නවා කියන්නේම අධික තදබදයක්. ඉතින් මේ තදබදය පිළිබඳව අමුතුවෙන් කියන්න නැහැ. විශේෂයෙන්ම නාගරික කලාපවල තිබෙන බන්ධනාගාරවල තත්ත්වය වඩාත් උග්‍ර තත්ත්වයකටයි පත්ව තිබෙන්නේ.
මේ තත්ත්වයට විසඳුම් විදිහට බන්ධනාගාර දෙපාර්තමේන්තුව ගෙන ඇති පියවර මොකක්ද?
අපට අධිකරණ නියෝගයකින් එන කිසිදු රැඳවියකු භාර නොගෙන ඉන්න බැහැ. සෑම රැඳවියකුම භාර ගැනීම බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ වගකීමක්. එහෙත් අපට එයින් එහාට දෙයක් කරන්න බැහැ. ඒත්, මේ ගැන අධිකරණ අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කරන්නේ තත්ත්වය පාලනය කිරීමට ගන්න ඕනෑ පියවර මොනවාද කියලා. සුළු වැරැදිකරුවන් වැනි පිරිස් පුනරුත්ථාපනය කර සමාජගත කිරීමට කටයුතු කළ හැකි ආකාරය පිළිබඳව අපි මෙහිදී සොයා බලනවා. මූලික වශයෙන් කල්ක්‍රියාව හොඳ සුළු වැරැදි නිසා බන්ධනාගාරගතව සිටින වැරැදිකරුවන්ට පොදු සමාව දීමේ වැඩපිළිවෙළ දීර්ඝකාලීනව ක්‍රියාත්මක කරමින් තිබෙනවා. නිදහස් දිනයට වගේම අලුත් අවුරුද්ද වෙනුවෙනුත් ජනාධිපතිතුමාගේ විශේෂ සමාව යටතේ සුළු වැරැදිවලට සම්බන්ධව සිරගතව සිටින පිරිස් නිදහස් කිරීමක් කරනු ලැබුවා. එළඹෙන වෙසක් සමයටත් එවැනි සුළු වැරැදි කළ කණ්ඩායමක් නිදහස් කිරීමට යෝජිතව තිබෙනවා. ඒ වගේ පොදු සමාව මඟින් බන්ධනාගාර තදබදය අඩු කිරීමට හැකියාව ලැබේ යැයි විශ්වාසයක් තිබෙනවා. ඒ වගේම තදබදය අඩු කිරීම සඳහා තෝරාගත් ස්ථානවල නව ගොඩනැඟිලි ඉදිකිරීමට සැලසුම් කර තිබෙනවා.
බන්ධනාගාර පිරීයාමට ප්‍රධාන හේතුවක් බවට පත්ව තිබෙන්නේ මත්ද්‍රව්‍ය වැරැදිවලට සම්බන්ධ පිරිස් බහුල වශයෙන් බන්ධනාගාරගත වීමයි. එවැනි කණ්ඩායම් හඳුනා ගෙන අවශ්‍ය පුනරුත්ථාපන කටයුතු සිදු කිරීමටද කටයුතු කර තිබෙනවා. පුනරුත්ථාපන අධිකාරිය හරහා ක්‍රියාත්මකවන ආයතන මේ වැඩපිළිවෙළට සම්බන්ධ කර ගැනීමට කටයුතු කිරීමේ වැඩපිළිවෙළ වඩාත් සක්‍රිය කිරීමට කටයුතු කර තිබෙනවා. ඒ වගේම පොලිස් දෙපාර්තමේන්තුව සහ සෞඛ්‍ය අංශ එක්ව අවශ්‍යතාව අනුව සමාජය තුළම රඳවා කටයුතු කිරිමද සිදු කිරීමට අපි සැලසුම් කර තිබෙනවා.
පුනරුත්ථාපන වැඩසටහන් ගම් මට්ටමෙන් ක්‍රියාත්මක කිරීමට නොහැකිද?
ගම් මට්ටමෙන් පුනරුත්ථාපන වැඩ සඳහා කටයුතු කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුවට සෘජු වගකීමක් නැහැ. එහෙත්, අපට පුළුවන් වෙනත් කණ්ඩායම් සමඟ එක්ව අවශ්‍ය සහාය ලබා දෙන්න. දැනුත් අප ඒ වැඩපිළිවෙළ පිළිබඳව අවධානය යොමු කර කටයුතු කරමින් සිටින්නේ. පාසල් ඇතුළු සමාජීය ආයතන සමඟ සම්බන්ධව මේ වැඩසටහන් ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. බන්ධනාගාරගතවන එක අවම කිරීමේ වැඩසටහන් තමයි ක්‍රියාත්මක විය යුත්තේ. බන්ධනාගාරගතවන වැරැදි කරුවන්ගේ ප්‍රමාණය අඩු කිරීමට සමාජයක් විදිහට ඔබට වගේම මට ද වගකීමක් තිබෙනවා. එවැනි වැඩපිළිවෙළ ආරම්භ කිරීම පාසල් මට්ටමෙන් ආරම්භ කළ යුතුයි.
යුක්තියේ මෙහෙයුම සමඟ බන්ධනාගාරගතවන රිමාන්ඩ් රැඳවියන්ගේ ප්‍රමාණය වැඩිවෙලා තිබෙනවා. ඒ තත්ත්වය ගැන බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා විදිහට ඔබේ අදහස මොකක්ද?
යුක්තිය මෙහෙයුමත් සමඟ බන්ධනාගාරවලට පැමිණෙන රිමාන්ඩ් රැඳවියන්ගේ ප්‍රමාණයේ වැඩි වීමක් තිබෙනවා. ඒත්, මේ යුක්තිය මෙහෙයුම නිසා අත්අඩංගුවට පත්වන බොහෝ පිරිස් තවදුරටත් සමාජයේ රැඳී සිටියොත් ඔවුනගෙන් සිදුවන සමාජ හානිය වැඩියි. ඒ නිසා ඔවුන් අත්අඩංගුවට පත්වීම තුළ සමාජ යහපතක් ඇති වෙන බවයි පෙනෙන්නේ. මෙසේ රිමාන්ඩ් බන්ධනාගාරගතවන පිරිස් නඩු කටයුතුවලින් පසු විශේෂ පුනරුත්ථාපන වැඩපිළිවෙළක් වෙත යටත් කිරීම කළ යුතුයි. එමඟින් සමාජයට ලොකු කරදරයක් වූ මේ කණ්ඩායම් නිසි මඟට ගැනීමට හැකියාව ලැබෙනවා.
නිලධාරී හිඟයට ගෙන ඇති ක්‍රියාමාර්ගය කුමක්ද?
යම් ප්‍රමාණයක නිලධාරීන් හිඟයක් තිබෙනවා. ඒ හිඟය පියවීම සඳහා බඳවා ගැනීම් සඳහා අවශ්‍ය පියවර අරන් තිබෙනවා. එහි එක් අදියරක් විදිහට බන්ධනාගාර නිලධාරීන් 300ක් බඳවා ගැනීමට සූදානම් කර තිබෙනවා. ඒ වගේම බන්ධනාගාර නිලධාරී පුරප්පාඩු සඳහා ත්‍රිවිධ හමුදාවෙන් නීත්‍යනුකූලව ඉවත් වූ පිරිස් සම්මුඛ පරීක්ෂණ පවත්වා සුදුසුකම් ඇති අය බඳවා ගැනීමට ද සැලසුම් කර තිබෙනවා. ඒ සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන්ද අප ඉල්ලීමක් කර තිබෙනවා. එහිදී ස්වේච්ඡා බළකායේ නිලධාරීන් පිළිබඳව විශේෂ අවධානය යොමු කර තිබෙනවා. ඒ නිසා බන්ධනාගාර නිලධාරීන්ගේ හිඟය පිළිබඳ ගැටලුවට යම් විසඳුමක් ලැබේවි යැයි මම විශ්වාස කරනවා .මේ වනවිට අපට අවශ්‍ය කරන කාඩර් එකට වඩා අඩු ප්‍රමාණයකුයි සිටින්නේ ඒ නිසා තමයි සමහර අවස්ථාවල ගැටලු සහගත තත්ත්වයන් ඇතිව තිබෙන්නේ.
ඇතැම් බන්ධනාගාර නිලධාරීන් දූෂිතයි කියලා ලොකු චෝදනාවක් තියෙනවා. මේ චෝදනාව පිළිබඳව ඔබට පැවසීමට ඇත්තේ කුමක්ද?
බන්ධනාගාර දෙපාර්තමේන්තුව විතරක් නොවෙයි ඕනෑම ආයතනයක, දෙපාර්තමේන්තුවක සියලු නිලධාරීන් සුපිරිසුදු යැයි කියනවා නම් ඒක බොරුවක්. ඕනෑම ආයතනයක, දෙපාර්තමේන්තුවකම හොඳ වගේම නරක නිලධාරීන් ඉන්නවා. ඒ අය අතරින් හොඳ නිලධාරීන් තෝරා ගෙන ඒ අය දිරිමත් කිරීමත් වැරැදි කරන විනය විරෝධී වැඩ කරන පිරිස් හඳුනාගෙන ඔවුන්ට අවශ්‍ය විනය පියවර ගත යුතුයි. පසුගිය අවුරුදු දෙකක කාලය තුළ බන්ධනාගාර දෙපාර්තමෙන්තුවේ නිලධාරීන් පනහකට වැඩි පිරිසක් සිදු කළ විනය විරෝධී වැඩත්, සේවය පැහැර හැරීමත් යන චෝදනා ඔප්පු වීම නිසා සේවයෙන් ඉවත් කර තිබෙනවා. අපි දෙපාර්තමේන්තුවක් විදිහට විනය සහ සාරධර්ම පිළිබඳව ඉතාමත් තදින් අවධානය යොමු කරනු ලබනවා. චෝදනාවලට ලක් වූ සමහර නිලධාරීන් ඉන්නවා, මත්ද්‍රව්‍ය වැරැදිකරුවන් සමඟ ජාවාරම් කළ තවත් අයත් ඉන්නවා. පාතාලය සමඟ සම්බන්ධතා පැවැත්වූ පිරිස් සේවයේ සිටිනවා නම් ඒක අපේ දෙපාර්තමේන්තුවට හානියක්. ලජ්ජාවට කරුණක්. ඒ නිසා එවැනි වැරැදි කරනු ලබන සියලු දෙනා පිළිබඳව සොයා බලා තදින් ක්‍රියාත්මක වෙන්න අප පසුබට වෙන්නේ නැහැ.
මෙවැනි නිලධාරීන් පිළිබඳ සොයා බලන්න, රාජ්‍ය බුද්ධි අංශයත්, බන්ධනාගාර බුද්ධි අංශයත් එක්ව අවශ්‍ය පරීක්ෂණ කටයුතු කරනවා. හඳුනාගත් පිරිස් පිළිබඳව දැඩි ක්‍රියාමාර්ග අරගෙන තිබෙනවා.
මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම හා එමඟින් රටේ අපරාධ පාලනය කළ හැකි බවට සමාජ අදහසක් තිබෙනවා. මේ අදහස ගැන ඔබේ මතය පැහැදිලි කළ හැකිද?
අපේ රටේ මරණ දඬුවම ලබා දීම අත්හිටුවලා නැහැ, එහෙත් අධිකරණය මඟින් ලබා දෙනු ලබන මරණ දඬුවම පිළිබඳ නියෝගයට රාජ්‍ය නායකයා අත්සන් කළ යුතුයි. එහෙත් 1976 වර්ෂයෙන් පසු කිසිදු රාජ්‍ය නායකයකු මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න අවශ්‍ය කරනු ලබන අනුමැතිය ලබා දී නැහැ.
මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම පිළිබඳව විවිධ පාර්ශ්ව විවිධ අදහස් පළ කරනු ලබනවා. සමාජයේ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම පිළිබඳව එක් එක් ආකාරයේ අදහස් පළ කරනු ලබනවා. අද මත්ද්‍රව්‍ය වැරැදි එහෙම විශාල ලෙස වැඩි වෙලා තිබෙනවා. එවැනි වැරැදි මරණ දඬුවම දුන් පමණින් පාලනය වෙයිද කියන දේ සලකා බැලිය යුතුයි. ඒ ගැන ගැඹුරින් කල්පනා කළ යුතුයි. අනෙක සමාජයේ සියලු අංශ නිවැරැදි නොවී මරණ දඬුවම පමණක් ක්‍රියාත්මක කිරීම කළ පමණින් සියලු දේ හරි මඟට වැටෙයි කියලා හිතන්න බැහැ. ඒත් මරණ දඬුවම ක්‍රියාත්මක කළොත් යම් පාලනයක් වෙයි කියලත් අනුමාන කරන්න පුළුවන්.
රැඳවියන් නිසි මඟට ගැනීමේදී සිරගත කිරීම පමණක් ප්‍රතිඵල දායක වෙන්නේ නැහැ. ඒ තත්ත්වය තුළ නූතනයට ගැළපෙන විදිහට පුනරුත්ථාපන කටයුතු සිදු කළ යුතුයි නේද?
අනිවාර්යෙන්ම ඒක ඇත්ත. පුනරුත්ථාපනය කරන්නන් වාලේ කිරීමෙන් වැඩක් වෙන්නේ නැහැ. එය කළ යුතු නිසි ක්‍රමවේදයක් තිබිය යුතුයි. අප දැන් සාම්ප්‍රදායික නීති වෙනස් කර පුද්ගලික අංශයටත් මේ සඳහා මැදිහත් වීමට අවස්ථාව ලබා දී තිබෙනවා. දැන් රාජ්‍ය සහ පුද්ගලික යන දෙඅංශය සම්බන්ධ කරගෙන මෙම පුනරුත්ථාපන වැඩසටහන් ක්‍රියාත්මක කර තිබෙනවා.
අලුත් පුනරුත්ථාපන වැඩසටහන් පිළිබඳව උදාහරණ ලෙස පෙන්වා දෙනවා නම්, අප දැන් බන්ධනාගාරය තුළ බේකරි පාසලක් ආරම්භ කර තිබෙනවා. එයින් රැඳවියන්ට බේකරි කර්මාන්තය පිළිබඳව නිසි පුහුණුවක් වගේම පාඨමාලාව අවසානයේදී NVQ සහතිකයක් පවා ලබා දෙනවා. එසේ පුහුණුවන පිරිස් බන්ධනාගාරයේ අනෙකුත් බේකරි වැඩ සඳහා ද අනුයුක්ත කරනු ලබනවා. ඒ වගේම කිසියම් දිනක බන්ධනාගාරයෙන් නිදහස ලැබූ දිනක ඔවුනට තමන්ගේම ස්වයං රැකියාවක් හෝ පුද්ගලික රැකියාවක් විදිහට මේ කර්මාන්ත කිරීමට අවස්ථාව ලැබෙනවා. කෘෂිකර්මාන්තයට ද අප වෙනස් විදිහට පුනරුත්ථාපන පුහුණු ව්‍යාපෘති ආරම්භ කර තිබෙනවා. ඒ වගේම හරිත කෘෂිකර්මය මෙන්ම බිම් වගා ව්‍යාපෘති පිළිබඳව ද අවශ්‍ය පුනරුත්ථාපන පුහුණු වීම් ලබා දෙනවා. ඒ වගේම අපේ සියලු කඳවුරු වගා කිරීම් සඳහා යොමු කර තිබෙනවා. එයින් ලැබෙන සියලු අස්වැන්න බන්ධනාගාරවල ප්‍රයෝජනය සඳහාම යොදා ගනු ලබනවා. බන්ධනාගාරයේ ආහාර සඳහා මේ වර්ෂයේදී රුපියල් බිලියන හයක මුදලක් ඇස්තමේන්තු කර තිබෙනවා. මෙවැනි ස්වයං වගා මඟින් අපට ඒ පිරිවැය යම් ප්‍රමාණයකින් හෝ අඩු කර ගැනීමට පුළුවන්.
බොහෝ සැකකරුවන් සිර දඬුවමට පෙර අවුරුද්ද, දෙක හෝ තුන රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටිනවා. එහෙත් උසාවියෙන් අච්චු කළාට පස්සේ ඒ කාලය දඬුවමට අදාළ වෙන්නේ නැහැ. එහෙත් දැන් රජයේ අවධානය යොමු වෙලා තිබෙනවා මේ තත්ත්වය ගැන වඩාත් මානුෂික ලෙස විමසා බලා කටයුතු කිරීමට. තවමත් එය ස්ථිර වෙලා නැහැ. එහෙත්, මේ දඬුවම් පිළිබඳව සාධනීය විදිහට සලකා බැලීමට රජය කටයුතු කර තිබෙනවා.
ඡායාරූපය මාලන් කරුණාරත්න