පුරාණ සංස්කෘත නාට්‍යකාරයෝ සිය පෙළ සකස් කර ගැනීම සඳහා සූත්‍රයක් භාවිත කළහ. එය සඳහන් වන්නේ “ආරම්භය යත්න – ප්‍රාප්ත්‍යාශා” යන ශ්ලෝකයෙහිය. 19 වන සියවසෙහි මුල් කාර්තුව තුළ දී ඉංග්‍රීසි නවකතාකාරයන් ද සිය පිටපත් රචනය සඳහා එබඳු සූත්‍රයක් භාවිත කර ඇති බව පෙනෙයි. සංස්කෘත නාට්‍යකාරයන්ට අවස්ථා පහක් තිබූ අතර ඉංග්‍රීසි නවකතාකාරයන්ට ද අවස්ථා පහක් තිබිණි.
1. චරිත, පසුබිම හා කාලය හඳුන්වා දීම.
2. ගැටුමක් ආරම්භ වීම
3. ගැටුමේ වර්ධනය හා උපරිම අවස්ථාව
4. කතාව අන් මඟකට යොමු කිරීම
5. ගැටලු නිරාකරණය හා කතා අවසානය
මේ සූත්රගත කිරීම අද වන විට වැඩි දෙනකුගේ අවධානයට ලක්වන්නේ නැතිවුව එය මුළුමනින්ම ප්‍රතික්ෂේප වී නැත. පාඨකයෝද මේ සූත්රගත කිරීම්වලට පුරුදු වී සිටිති. මෙයින් කියැවෙන්නේ නවකතාව පිළිබඳ අලුත් අත්හදා බැලීම්වලට ඉඩක් නැති බව නොවේ.

තරිඳු අමිල
නවකතාවේ අභිවර්ධනය සඳහා අලුත් පර්යේෂණ, නව අත්හදා බැලීම්, අභිනව ශිල්ප ධර්ම හා සංකල්පීය වශයෙන් ඇති කරනු ලබන වෙනස්වීම් ද පවත්වා ගත යුතුය. එබඳු දේවල් අමෙරිකාව, ඉන්දියාව, ප්‍රංශය ඇතුළු රටවල් ගණනාවක සිදු වෙයි. අප්‍රිකානු රටවල ප්‍රබන්ධ කතා විෂයය ද පර්යේෂණ ඔස්සේ වෙනස් වෙමින් පවතී. එය සාධනීය ලක්ෂණයක් සේ සැලකිය යුතුය.
විචාරක අදහස්වලට අනුව අපේ නවකතාවේ දියුණුව සඳහා සාධක හතරක් මූලික වශයෙන් ජය ගත යුතුය.
1. තරුණ පරම්පරාව ප්‍රබන්ධ කථාවට ආකර්ෂණය කරගත යුතුය.
2. රචකයන් අලුත් අත්හදා බැලීම්වලට යා යුතුය.
3. ලෝකයේ නව ප්රවණතා අධ්‍යයනය කළ යුතුය.
4. පාඨක සමාජයේ වින්දන රටා ශක්තිමත් කළ යුතුය.
මේ සාධක හතරම පිළිගත හැකිය. තරුණ පරම්පරා ප්‍රබන්ධ කථාව කෙරෙහි ආකර්ෂණය කර ගැනීම යන්නෙන් කරුණු කිහිපයක් අවධාරණය කෙරේ. එකක් නම්, තරුණ පාඨක සමාජ ව්‍යාප්ත විය යුතු බවය. තව එකක් නම්; තරුණ රචකයන් බිහිවිය යුතු බවය. තව එකක් නම්; තරුණ පාඨක සමාජ අතර මේ පිළිබඳ සංවාදයක් ගොඩනැඟිය යුතු බවය.
අද අපගේ විමසුමට ලක්වන සිංහල නවකතාව පළ වී ඇත්තේ 2021 දීය. එය කතාබහට සුදුසු එහෙත් අපට මගහැරුණු ප්‍රබන්ධයක් යැයි අපට සිතේ. කර්තෘ තරිඳු අමිල තරුණ ලේඛකයෙකි. ඔහුගේ ප්‍රථම නවකතාව මෙය වෙයි. “හීන මායිම” ලෙසින් ප්‍රබන්ධය හඳුන්වා ඇත. “හීන මායිම” යනු ජීවිතය විග්‍රහ කර ගැනීමට වෑයම් කරන අලුත් මාදිලියේ ප්‍රබන්ධයක් සේ හැඳින්විය හැකිය. එහි විශේෂතා කිහිපයකි.
1. පැහැදිලි කතාවස්තුවක් නැත.
2. අවස්ථා නිරූපණයෙන් පමණක් ප්‍රබන්ධයක් කීම
උත්සුක වෙයි.
3. කටවහර රිද්මයානුකූලව භාවිත කිරීමට වෑයම් කරයි.
4. සිදුවීම් අතර තර්කානුකූල සම්බන්ධයක් (ගැළපීමක්) නැත.
කතා – වස්තු නිර්මාණය යනු කතාවේ ප්‍රධාන සිදුවීම් එකට ගළපා පෙළගැස්වීමය. කතා – වස්තු යන ශිල්ප ධර්මය සමඟ එකට යන තවත් ශිල්ප ධර්මයක් වන්නේ කතා – ව්‍යුහය නැතහොත් කතා සැකිල්ල යන්නය. PLOT and STRUCTURE ප්ලොට් ඇන්ඩ් ස්ට්‍රක්චර් යන නම්වලින් එය ඉංග්‍රීසියෙන් හැඳින්වේ.
නවකතාව සම්බන්ධයෙන් ප්‍රචලිත ශිල්ප ධර්ම කිහිපයක් තිබේ.
1. කතා වස්තුව
2. අන්තර්ගතය
3. චරිත නිරූපණය
4. සිද්ධි නිරූපණය
5. දෘෂ්ටි කෝණය
6. පසුබිම් නිරූපණය
7. භාෂාව හා ශෛලිය
8. සංකේත භාවිතය
9. උත්ප්රාසය දැනවීම
මේවා නවකතාවක් හඳුනා ගැනීමට හා එය අධ්‍යයනය කිරීමට පහසු සූත්රගත කිරීමක් මිස; නවකතාව සම්බන්ධයෙන් වන දේව භාෂිතයක් නොවේ. නවකතාවට පමණක් නොව කුමන නිර්මාණ විශේෂයකට වුව නීති – පැනවිය නොහැකිය. සම්ප්රදාය පිටු දැක නව මාවත් සොයන නවකතාකරුවන් නිසා ක්ෂේත්‍රය පුළුල් වෙයි. වෙනසක් සිදු කිරීම කොහොමටත් වැදගත්ය. එහෙත් එම වෙනස රස වින්දනයට බාධාවක් නොවිය යුතු අතර මානව ගැළපිය යුතු බව ද ලේඛකයා සිහි තබා ගත යුතුය.
“මිනිහෙකුට ජීවත් වෙන්න හීනයක් ඕනෙ. බලාපොරොත්තුවක් ඕනේ”
කර්තෘ තරිඳු අමිල සිය හැඳින්වීමෙහිලා කියයි. එය නම් කර ඇත්තේ “කලින්ම ලියමි” යනුවෙන්ය.
සිහින යනු රචකයකුට හොඳ උපායමාර්ගයකි. සිහිනවලට සීමා – මායිම් නැත. නීති – රීති නැත. තර්ක නැත. එය ලේඛකයකුට සිය ලියැවිල්ල සඳහා ලැබෙන අපූරු අවකාශයකි. ඉන්ද්‍රජාලික යථාර්ථවාදය භාවිත කරන ප්‍රබන්ධ – කතාකරුවෝද සිහිනවලින් හොඳහැටි ප්‍රයෝජන ගනිති. එහෙත්, අමිල එවැන්නකට යොමු නොවේ. ඔහු සිහිනයකින් කිසිදු ප්‍රයෝජනයක් ගන්නා බවක් පෙනෙන්නට නැත.
සම්භාව්‍ය ලේඛක – ලේඛිකාවෝ රැසක් සිහින උපායමාර්ගය තෝරාගෙන අපූරු නවකතා රචනා කළහ. ජෝර්ජ් ඕවල් පවා ඊට නිදසුන් ලෙස දැක්විය හැකිය. ලෝක සංවාදයට ලක් වූ “1984” ප්රබන්ධයන්ට නිදසුන්ය. නූතන අමෙරිකන් ප්‍රබන්ධ – කතා ක්ෂේත්‍රය තුළ සිහින පාදකකොට ප්‍රබන්ධ ගෙතීමේ නව ප්‍රවණතාවක් ද බිහි වී ඇත. එහෙත් ඒ සිහින ගැළපීම් වින්දනයට බාධාවක් නැත. ඒවා බොරු – මනස්ගාත ලෙස හැඟෙන්නේ නැත. කර්තෘ අමිල පළමුව සිහිනයක් ගැන කියන්නේ වුව එය හොඳින් නිරූපණය කරන බවක් නොපෙනේ.
“ජීවිතය කියන්නේ අපිට හැඟෙන අර පහළට ගලා බසින ගංගාව වගේ. ගංගාවක් දිගටම ගලනවා. කිසි තැනක නතර වෙන්නෙ නැහැ.”
(පළමු පරිච්ඡේදයේ ආරම්භය)
“ජීවිතය කියන්නේ අපි තාවකාලිකව අල්ලගත්ත දෙයක් විතරයි. අපි ඒක අල්ගන්නව වගේම අපිට ඒක අතහරින්න දවසකුත් එනවා”
(හයවන පරිච්ඡේදය – ආරම්භය)
“මිරිඟුවක් කියන්නෙ මායාවක්. තවත් එක් රැවටීමක් මිරිඟුවක් හිතක් ඇතුළේ බලාපොරොත්තු ඇති කරනවා.”
(හත්වන පරිච්ඡේදය – ආරම්භය)
“ජීවිතය කියන්නෙ සටහනක් නම්; ජීවිතයේදී සිද්ධ වෙන්න තිබුණු සමහර දේවල් අපට කපල දාන්ඩ තිබ්බා”
(අවසන් දිගහැරුම – ආරම්භය)
කතුවරයා ජීවිතය විග්‍රහ කිරීම සඳහා අතාර්තික උත්සාහයක යෙදෙන බව පෙනෙයි. ඔහු තමා නවකතාවක් රචනා කරන බව අමතක කරයි. කතුවරයාගේ අවධානය සඳහා වැදගත් කරුණු කිහිපයක් සඳහන් කළ යුතුය.
1. නවකතාව යනු තමන් හිතන – හිතන දේවල් ලියා තැබීම නොවේ
2. නවකතාව යනු ජීවිතය පිටපත් කිරීම ද නොවේ
3. ප්‍රබන්ධ කතාවේදී වැදගත් වන්නේ නිරූපණය මිස විග්‍රහ කිරීම නොවේ
4. ප්‍රබන්ධය සඳහා කටවහර භාවිත කරන්නේ නම් එහි සජීවී බව හා රිද්මය ආරක්ෂා කරගත යුතුය.
කතුවරයා සිය වෙනස්කම සිදුකර ඇත්තේ අහේතුකව හා හිතුවක්කාරී ලෙසය. ඒ නිසාම ඔහුගේ වෑයම ප්‍රතිඵල විරහිත බව පෙනී යයි. තරුණ පරම්පරාව සිංහල නවකතාව තුළ වෙනස්කම් ඇති කිරීමට උත්සුක වීම සාධනීය ලක්ෂණයකි. එහෙත් එහි ප්‍රතිඵලය සාධනීය නොවන්නේ නම් පලක් නැත.