සත්කාරක ශ්‍රී ලංකාව සහ කසකස්තානය අතර ආසියාතික රග්බි පළමු කොටසේ ශූරතාවලියේ අවසන් මහා තරගය අද (4) විදුලි ආලෝක ධාරා මැද රාත්‍රී 7.00ට කොළඹ තුරඟ තරග පිටියේදී පැවැත්වේ.
පසුගියදා පැවති අවසන් පූර්ව වටයේදී ඉන්දියාවට එරෙහිව ලකුණු 45-10ක ජයක් වාර්තා කරමින් සුහිරූ ඇන්තනීගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා පිල අවසන් තරගයට සුදුසුකම් ලැබූ අතර, කටාර් රාජ්‍යයට එරෙහිව ලකුණු 33-31ක තියුණු ජයකින් පසු අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට එම්. මගෝමෙඩොව්ගේ නායකත්වයෙන් යුතු කසකස්තාන පිල සමත් විය. 15 සාමාජික ලෝක රග්බි ශ්‍රේණිගත කිරීම්වල 44 වැනි ස්ථානයේ පසුවන ශ්‍රී ලංකාවට ලබන වසරේ පැවැත්වෙන ආසියාතික රග්බි ශුරතාවලියේ ප්‍රධාන තරගාවලියට ඇතුළත් වීමට අද තරගයේ ජයග්‍රහණය අතිශය වැදගත් වේ.
මීට වසර 5කට පෙර අවසන් වරට ආසියාතික රග්බි පළමු කොටසේ තරගාවලියට එක්වූ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයේදී පිලිපීනය හමුවේ පරාජයට පත්වූ අතර, සත්කාරක චීන තායිපේ පිල පරාජය කරමින් තුන්වැනි ස්ථානය දිනා ගත්තේය.
ආසියාතික රග්බි පළමු කොටසේ තරගාවලියේ තුන්වැනි ස්ථානය සඳහා වන තරගය ද අද පස්වරු 4.00ට ඉන්දියාව සහ කටාර් රාජ්‍යය අතර පැවැත්වෙනු ඇත.