වාරිමාර්ග පද්ධතිවලට අවහිරවනසේ කඩා වැටී ඇති විශාල ගස් ඉවත් කිරීම දැව සංස්ථාව මඟින් හම්බන්තොට දිස්ත්රික්කයේ මේ දිනවල සිදු කෙරේ.
පසුගිය කාලයේ මාස කිහිපයක් එක දිගට ඇදහැලුණු වැසි සමඟ ජලාශ හා වාරිමාර්ග පද්ධතිවල ඉවුරු ආසන්නයේ තිබූ විශාල ගස් කඩා වැටීමෙන් ක්රමවත් ලෙස ජලය ගලායෑම සිදු නොවන හෙයින් කඩා වැටී ඇති ගස් ඉවත් කිරීමට දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීමේ දී තීරණය කර ඇත. ඒ අනුව දැව සංස්ථාවේම යන්ත්‍ර යොදා එහි සේවකයින් විසින් විශාල ගස් ඉවත් කිරීම සිදු කරන අතර, ඇතැම් වාරිමාර්ග පද්ධති තුළ ගස් ඉවත් කිරීමේ දී එහි සිටින කිඹුලන්ගෙන් පවා අනතුරු සිදුවිය හැකි හෙයින් දැඩි අවදානම්සහගත තත්ත්වයකින් මෙම කාර්යය මෙම සේවකයෝ විසින් සිදු කරති. කිරිඳිඔය, වීරකැටිය ඌරුබොකු ඔය, මහ ඇළ යන ස්ථානවල දී ඉවුරුවල පිහිටි කඩා වැටී ඇති විශාල කුඹුක් ගස් රැසක් මේ වන විට දැව සංස්ථාවේ සේවකයින් යොදවා ඉවත් කර ඇති බව දැව සංස්ථාවේ හම්බන්තොට සහකාර ප්රාදේශීය කළමනාකරු කේ.ඩී. චමින්ද රුවන් මහතා පවසයි. කිසිදු පෞද්ගලික ආයතනයක් හෝ පුද්ගලයින් විසින් මෙම ගස් ඉවත් කිරීම සිදු නොකරන අතර, කපා ඉවත් කරන ලද විශාල දැව කඳන් දැව සංස්ථාව බාරයට ගනු ලබන බවද හෙතෙම සඳහන් කළේය.